කලුගල් යකඩ තරමට සවිමත් ඇඟක් මට දී
උණුවෙනා හදවතක් මට දුන්නෙ ඇයි අම්මේ
බිරිඳකගෙ සෙනෙහේ උණ පඳුරු පෙරළගෙන හමාගිය මහ රෑ
ඉසකෙයාවල කඳුළු තැවරුවේ අඩ අඬා උඹමයි අම්මේ…
ඉතින් අද මම තනියම හෙවණැල්ල පමණයි ළඟ ඉන්නේ
ගෑනිත් ගියානේ ඒ හින්දමයි ගෑනු දැක්කම ඇහැ වහන්නේ
මම ඇවිත් මහ රෑට වළ ළඟට උඹව හොයනවා මගෙ අම්මේ
කාගෙවත් රුවක් නෑ හිස් පොකැට්ටුවේ උඹේ රුවමයි අලවන්නේ
පිළිකා රෝහලට ළඟමයි මහරගම අම්මේ දැන් මම ඉන්නේ
ජීවිතේ තව ඒ හැටි දුරක් නෑ පිළිකාවක් ලු පෙනහැල්ලමයි පවසන්නෙ
තනිකම දවා අළුකළ ඒ දුම්වැටිය නෑ අම්මෙ අමතක කරලන්නෙ
උඹේ වළ ඉඩ ඇති නේද උකුලේ ගුලිවෙන්න ඉක්මනින් එනවා අම්මේ…
මං ජීවිතේ දුන්නා ගොඩක් දෙනෙකුට උං රජ වෙලා සතුටුයි අම්මේ
දුප්පතුන් ගැන කවි ලිය ලියා උඹ කියපු විදියට යුතුකම කළා මගෙ අම්මේ
දැන් මං යන්න හරි කාලය නේද මට නිදිමතයි මයෙ අම්මේ
මං මළදාට පෙට්ටියට සල්ලි හෙව්වේ
කවි ලියල නම් නෙමේ මගෙ අම්මේ…
***
ඉතින් මට ආදරය කළ සබඳින් සමුගන්න අවසරද
මං නැතුව පෙලු ද අදින් පසු කවි නැතත් අඬන්නේ නෑ නේද
ඈත අහසේ පුංචි දුප්පත් තනි තරුව අර ඔයාලට පේනව නේද
අනේ ඒ මම තමයි ඒ දිහා බලාගෙන කෙළ ගහන්නෑ නේද
වළ හොයාගන්ඩත් බැරුව යයි කොහේ වළලයිද දන්නෙ නෑ
පෙකනිවැල කපපු දා ඉඳන් දුක් විඳි නිසා
මට හරි බරයි ජේස්ටම කිවිවරුනි පපුව උඩ මල්වඩම් ඕනෙ නෑ
ඔබේ හදවත් හැමදාම ඉම්බ මං ආධුනික කවියනේ ඒක ඔබ දන්නෙ නෑ
මගෙ තනිකමට මං වෙත ආව පිළිකා ලලනියේ
මං ඔයා එළවන්නෙ නෑ…!!!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)