හැටේ දශකයේ සිංහල පාඨක සමාජය කම්පනය කළ නවකතාව “අචලා” ලියූ අසෝකා එම්. හේරත්
හැටේ දශකයේ අගභාගයේ සිංහල පාඨක සමාජය වැඩියෙන්ම වැලඳගත් නවකථාව එකල රිවිරැස පුවත්පතේ කොටස් වශයෙන් පළවූ ‘අචලා’ නම් නවකථාවයි. එය එදා පාඨක සමාජය අතිශය කම්පනයට පත් කළ නවකථාව වූවා සේම සිංහල නවකථාවට කම්කරුවන්, රියදුරන් වැනි විවිධ ක්ෂේත්‍රවලින් අලුත් පාඨක පිරිසක් බිහිකළ කෘතියක් ද විය.
‘අචලා’ කෘතිය අසෝකා එම්. හේරත් නම් යුවතියකගේ නිර්මාණයක් වූවාය. එම කෘතිය පළවී වර්ෂ දශක හතරහමාරකට පසු එහි රචිකාව සොයා එදා එහි පාඨකයකු හා වර්තමානයේ සිළුමිණ පුවත්පතේ විශේෂාංග ලේඛකයකු වන පීටර් කැනියුට් පෙරේරා මහනුවර බලා ගියේය. මහනුවර, අඹතැන්නේ මුල්ලේගම දී අසෝකා එම්. හේරත් මුණගැසුණු ඔහු ‘අචලා’ නවකථාව ගැන අතීතය ස්මරණය කරනු ලැබීය.
අලුත් පාසල් වාරය ආරම්භ දිනයේ අචලා, උදෑසනින් ම පාසල් යෑම සඳහා බස් නැවතුම්පළට පැමිණියාය. මහනුවර නගරයේ උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලැබූ ඇය යාබඳ ගම්පියසක සිට නගරය වෙත පැමිණියේ බස් රථයෙනි. නගරය වෙත යන බස් රථය නැවතුමෙහි නතර කළ විට ඇය අනිකුත් මඟීන් සමඟ එහිවූ ඉදිරිපස දොරටුවෙන් බස් රථයට ගොඩවූවාය.
එලෙස බසයට ඇතුලුවන අචලාගේ දෙනෙත් හදිසියේ ම බස් රියේ රියදුරු අසුන වෙත යොමු විය. එහි අසුන්ගෙන සිටියේ වෙනදා එහි සිටින රියදුරා නොවීය. රියදුරු අසුනේ සිටින කඩවසම් හැඩි දැඩි තරුණයා තමන් දෙස ඉතාමත් විමසිල්ලෙන් බලා සිටින බව අචලා දුටුවේ එම නිමේෂයේ දීය. ඔහු මෙතරම් විමසිල්ලෙන් බලා සිටින්නේ ඇයි ද යන පැනය අචලාගේ සිතෙහි ක්ෂණයකින් ඇතිවූයේ ඇයගේ සිරුර කිසියම් කිලිපොලායාමකට භාජනය කරමිනි.
එක්දහස් නවසිය හැටේ දශකයේ අගභාගයේ සිංහල පාඨක සමාජය අතීශය කම්පනයට පත්කළ නවකථාවක ආරම්භය සටහන් වූයේ එසේය. “අචලා” සිංහල පාඨක සමාජය අතිශය කම්පනයට පත්කළ නවකථාව වූවා පමණක් නොව සිංහල නවකථාවට අලුත් පාඨක පිරිසක් බිහිකළ නවකථාව ද විය. වීදි සරණ පුද්ගලයන්, කම්කරුවන්, සිංහල නවකථාව කෙරෙහි ආකර්ෂණය වන්නට වූයේ අචලා නවකථාව නිසාය.
මහනුවර, අඹතැන්න, මුල්ලේගම, මුල්ලේගම වලව්වේ වැලිවිට නිලමේගේ ලොකු දෝනියන්දැ වූ අශෝකා එම් හේරත්ගේ සිතෙහි ජනිත වූ “අචලා” වෙනත් මිනිසුන් දකින්නට පටන්ගත්තේ එක්දහස්නමසිය හැටහතේ මැයි මාසයේ මුල් සතියේ ඉරිදා රිවිරැස පත්තරයෙනි. ඒ සතිපතා කොටස් වශයෙන් පළවන නවකථාවක් වශයෙනි.
එම අවදියේ ලංකාවේ කිසිදු රූපවාහිනී නාළිකාවක් නොවීය. අද මෙන් දුසිම් ගණනකට ආසන්න සති අන්ත පුවත්පත් තිබූ කාලයක් ද නොවීය. තිබුණේ ප්‍රධාන සති අන්ත පුවත්පත් තුනක් පමණි. ඡායාරූප ද සහිතව කොටස් වශයෙන් පළවූ “අචලා” නවකථාව කියවීමට ඉරිදා රිවිරැස පුවත්පත එනතුරු බොහෝ මිනිසුන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. අචලා උඩරට වත්පොහොසත්කම් ඇති පවුලක වැඩිමහල් දියණිය වූවාය. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙක්. මහනුවර නගරයේ බාලිකා විදුහලක ඉගනුම ලැබූ ඇය පාසල වෙත යන්නේ බස් රථයෙනි. උසස් පෙළ පංතිවල අචලා ඉගනුම ලබද්දී ඇය යන බස් රථයට අලුත් රියදුරෙක් පැමිණෙයි.
බෙහෙවින් කඩවසම් වූ ඔහුගේ නම ජයදේවය. බසයට නඟිනවිටදීද්, බසයෙන් බසින විටදීද් බසය තුළදීත් තරුණ රියදුරාගේ දෑස් අචලා වෙත රැදෙයි. මුලදී කුහුලින් ඔහු දෙස බැලූවත්, කෙමෙන් අචලාගේ දෑස ද රියදුරා වෙත ඇදෙයි. තමන් නොදැනුවත්ව ම ඔව්හූ එකිනෙකාට ආදරය කරන්නට වෙති. එහෙත් එය හෙළි නොවෙයි.
දිනක් පාසල අවසන්වී බස්නැවතුම් පොළට එන අචලාට ජයදේව බසයෙන් පිටත සිටිනු පෙනෙයි. ඔහු ඇය හා සිනහාසුනත් ඇයට පිළිතුරු සිනහවක් නැඟීමට නොහැකි වන්නේ ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට වූ නිසාය.
එදින ජයදේව බසය පැදවූයේ නැත. ඒ වෙනුවට එන්නේ වෙනත් වියපත් රියැදුරෙකි. බසය ගමන් අරඹත්ම එහි පාපුවරුවට නඟින ජයදේව සමඟ; මඟියෙක් කතාවට වැටෙයි. තමා එදින සිට දින කීපයක් නිවාඩු බව ජයදේව ඔහු හා පවසයි.
ජයදේව යළි බසයට නොඑන්නේ යැයි සිතන අචලාගේ සිත ශෝකයෙන් පෙළෙයි. එදින ඇයට කිසි වැඩක් හරිහැටි කර ගැනීමට නොහැකි වෙයි. තම මවුපිය සොහොයුරන්සේ ම මෙහෙකරුවන් ද නොරුස්සනා ගතියක් ඇය තුළ ඇති වෙයි. ඇඳට වැටෙන ඇය ශුන්‍ය හැඟීමෙන් දවස ගෙවයි.
පසු දින උදෑසන අචලා යළි උද්දාමයට පත්වෙන්නේ ජයදේව රියදුරු අසුනේ නැතත් පාපුවරුවේ සිටිනු දුටුවිටය. බස් නැවතුමේදී බසයෙනි බසින අචලා පාසලට යනු සඳහා ටික දුරක් පයින් යා යුතුය. කෙටි පාරක් වූ එය ජනගහනයෙන් හෝ කඩ සාප්පුවලින් හෝ තොරය. එහි ඇත්තේ පාළු බවකි. එදින ඇය බසයෙන් බැස මාවත දිගේ ගමන් කරද්දී ජයදේව ඇය පසු පසින් පැමිණ ඇයට කතා කරයි. ඇයගේ පාසල ද; නම ගම ද; ජයදේව දැනගන්නේ එදාය.
තමන්ගේ සමාජ මට්ටම, ඇයගේ සමාජ මට්ටමට නොගැලපෙන බව ජයදේව වටහා ගත්තත් ඇය ගැන ඔහුගේ සිතේ හටගත් ආදරය සිදබිඳ ලන්නට ඔහුට හැකි වූයේ නැත.
අචලාගේ ලෝකය සහමුලින් ම වෙනස් වන්නේ එදායින් පසුවය.
ඇය සොහොයුරන් හා දබරකර ගනී. මවු පියන් හා අරගලකර ගනිමින් බැණුම් අසයි. පවුලේ අය අගයන කිසිදු පුරුෂාර්ථයක් පිළිගැනීමට කැමැති නොවෙයි. ඇය තමන් පැලන්තියේ නෑයන් පවා නුරුස්සන්නට වෙයි. ඉගනීමේ කටයුතු අතපසු කර ගනිමින් ඇඳේ වැතිර කල්පනා කරයි. ඇයගේ මුළු ලෝකය වන්නේ ජයදේවය. ඔහුට නිවාඩු ලැබෙන දින දෙක තුනේදී ඔහු ඇය හා පාළු මාවත දිගේ ගමන් කරයි. තමන්ට දෙදෙනාට වෙන්වෙන්නට බැරි බවත් තමන් කවදා හෝ විවාහ විය යුතු බවත් දෙදෙනා කතා කර ගනිති.
නගරයේ කිසියම් කාර්යාලයක සේවය කරන අචලාගේ පියා හඳුනන්නෙකු දිනක අචලා ජයදේව සමඟ මේ පාළු මාවතේ ගමන් කරනු දකී. ඔහු ඒ බව අචලාගේ පියාට දන්වයි. මහත් කලබැගෑනියකින් ඉක්බිති පියාගේ තර්ජනයට ලක්වන අචලා පියා විසින් පාසලින් අස්කරනු ලබයි. ඉක්බිති ඇය නිවසේ සිරකාරියක බවට පත්වෙයි. යළි කිසිදාක අචලා ඇස නොගැටෙන ජයදේව රැකියාව ද අත්හැර ඈත පළාතකට ගොස් මානසික සන්සුන්බව පතා සසුන් ගතවෙයි.
මාස හයක් පුරා සතිපතා කොටස් වශයෙන් “රිවිරැස” පුවත් පතෙහි පළවූ අචලා නවකථාව තරම් බොහෝ පාඨකයින් පිරිසක් වෙත බලපෑමක් සිදුකළ වෙනත් සිංහල නවකථාවක් නැති තරම්ය.
කරුණාසේන ජයලත්ගේ “ගොලු හදවත” නවකථාව බලපෑමක් ඇති කළේ කිසියම් ඉගනීමක් ඇති තරුණ පිරිස් වෙතය. නමුත් අචලා නවකථාව උගත් – නූගත්, වීදි කම්කරුවන්ට මෙන් ම වයස් භේදයක් නොමැතිව බලපෑමක්; කම්පයක් ඇතිකළ නවකථාවක් විය.
කරුණාසේන ජයලත්ගේ ගොලු හදවත නවකථාව නිකුත් වී ටික කලකට පසු ගොලු හදවත චිත්‍රපටිය නිර්මාණය විය. ගොලු හදවත චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ වී ටික කලකින් චිත්‍රපටියේ දම්මි ලෙස රඟපෑ අනුලා කරුණාතිලක කොණ්ඩය පීරා සිටි අන්දමට බොහෝ තරුණියන් කොණ්ඩය පීරීමට පටන්ගත්හ. එය එකල තරුණියන් අතර විලාසිතාවක් මෙන් බෝවෙන්නට විය.
නමුත් අචලා නවකථාවේ කථා නායිකාව වූ අචලා එකල තරුණියන්ට බලපෑවේ එයට බොහෝ කලකට පෙරය. අචලා නවකථාව සමඟ පළවූ ඡායාරූපවල අචලා කොණ්ඩය පීරු විදියට කොණ්ඩය පීරීම එකල තරුණියන් අතර පැතිරුනේ වසංගයත් මෙනි. නළල ඉදිරිපසින් කුඩා හිසකෙස් රොදක් වැටෙන සේ අචලා කොණ්ඩය පීරූ විලාසිතාව එදා සාමාන්‍ය තරුණියන් පමණක් නොව තරුණ චිත්‍රපට නිළියෝ ද අනුගමනය කළෝය.
“අචලා” තරුණියන්ට බලපෑවේ කොන්ඩය විලාසිතාවෙන් පමණක් නොවීය. එකල බොහෝ තරුණයන් බස් රියදුරන් සමඟ පෙම් සබඳතා ආරම්භ කළේ අචලා නවකථාවේ බලපෑම නිසාය. “මට මූණට නොකීවත් මට සමීප කීපදෙනෙකුටම බොහෝ දෙමාපියන් දොස් කියල තිබුණා මගේ අචලා නවකථාව කියවල ඔවුන්ගෙ දූවරුන් බස් රියදුරන් සමඟ යාලුවුණාය කියලා” අචලා නවකථාවේ රචිකාව වන අශෝකා එම්. හේරත් අතීත ස්මරණයක නිරත වෙමින් පවසන්නීය.
මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ ඉගනුම ලැබූ අශෝකා එම්. හේරත්; “අචලා” නවකථාව නිර්මාණය කරනවිට වයස අවුරුදු දහහතවත් සම්පූර්ණ කර තිබුණේ නැත. “එතකොට මම ඉගන ගත්තෙ උසස් පෙළ පංතියෙ” අශෝකා සිහිපත් කරන්නීය.
එයට පෙර ඇය සාහිත්‍ය නිර්මාණයක් කර තිබුණේ එකම එක් වතාවක් පමණි. මහනුවර කච්චේරියේ රැකියාව කළ අශෝකාගේ පියා වූ බංඩාර හේරත්ගේ හිතවතෙකු වූ එමර්සන් හිප්පොල සංස්කරණය කළ “ප්‍රදීපිකා” නැමැති සඟරාවට කෙටිකතාවක් ඇය සපයා තිබුණි. පිටු අසූවේ අභ්‍යාස පොත් හයක් පුරා ඇය අචලා කතාව ලියුවාය.
“හාෆ් ෂීට් කියල ජාතියක් අපි ඒ කාලෙ දැනගෙන හිටියෙ නැහැ. ඉස්කෝලෙ නෝට්ස් ලියන ඇක්සයිස් පොත තමයි හැම දෙයකටම ප්‍රයෝජනයට ගත්තෙ. ඇඩ්වාන්ස් ලෙවල් නෝට්ස් ලියද්දි කොළ ඉතිරි කරගන්න රතු ඉරට එහා මාජින් එකෙත් ලියන හින්ද මම නවකථාව ලිව්වෙත් ඒ පිළිවෙළට තමයි”, මීට දශක පහකටත් එහා පාසල්වියේ මතකයන් අශෝකා ස්පර්ශ කරන්නේ එසේය.
අචලා නවකථාව ලියූ අභ්‍යාස පොත් හය තමන් ළඟ තබා ගැනීමට අශෝකා බිය හා ලජ්ජා වූවාය. “මගෙ ලොකු අම්මගෙ දුව හිල්වුඩ් එකේ බෝඩ්වෙලා ඉගන ගත්තෙ. මම එයාගෙ ඇඳුම් සූට් කේස් එකේ අඩියෙම පොත් හය තියල ඇයට කිව්වා ඒක බලන්න එපාය කියලා. එයා හැම නිවාඩුවකටම ගෙදර එද්දි අර සූට් කේස් එකේ අචලා හැංඟිලා හිටියා. නිවාඩුව ඉවරවෙලා එයා ආපසු හිල්වුඩ් එකට යද්දි අචලත් එයා එක්ක ඉස්කෝලෙට ගියා. මේ විදියට අවුරුදු හතරක් ම අචලා හිටියෙ මගෙ ලොකු අම්මගෙ දුව ළඟ. කාගෙවත් ඇස් බැල්මක්වත් වැටෙන්නෙ නැතිව පරිස්සමට,” අශෝකාගේ “අචලා” කාගෙවත් ඇස් නොගැටී අවුරුදු හතරක් ම සැඟව සිටියේ එසේය.
අශෝකා උසස් පෙළ සමත් වූයේ දෙවෙනිවර විභාගයට පෙනී සිටීමෙන් පසුවය. මෙම කාලය වන විට දවස පුවත්පත් ආයතනය, සති අන්තයේ නිකුත් කළ “රිවිරැස” පුවත්පතෙහි සතිපතා කොටස් වශයෙන් අනුල ද සිල්වාගේ “උන්මත්තකයෝ”, පී.ඇම්. ජයතිලකගේ “ගිනිදැල්” සමරසේන කළුගම්පිටියගේ “ගැහැනු සිත” වැනි නවකතා; කොටස් වශයෙන් පළවී තිබුණි. අශෝකා තමන් නවකථාවක් ලියා ඇති බවත් එය රිවිරැසහි කොටස් වශයෙන් පළකරවා ගැනීමට කැමැති බවත් දන්වා රිවිරැස ප්‍රධාන කතු තුමාට ලියා යැවුවාය. ඇයට පිළිතුරු ලැබුණේ ලිපි හතරක් යැවීමෙන් පසුවය. පිළිතුරු ලිපිය ගුණදාස ලියනගේ ගේ අත්සනින් යුතුව එවා තිබුණි. සලකා බැලීම සඳහා නවකථාව එවන ලෙස එහි ලියා තිබුණි.
අශෝකා නූලකින් පොත් හය එක පොතක් වනසේ බැඳ බ්‍රිසිල් බෝඩ් කවරයක් ද දමා තැපෑලෙන් ම එය ගුණදාස ලියනගේ වෙත යැවීය. “ටික දවසකින් ගුණදාස ලියනගේ මහත්තයා ලියුමක් එවලා තිබුණ නවකථාව පළකරන්න තෝරාගත්තා. දවස නිවසට ඇවිල්ල එයාව මුණ ගැහෙන්න කියලා” ඒ අනුව අශෝකා තම පියාත් සමඟ 1967 අප්‍රියෙල් 14 දින දවස කාර්යාලයට පැමිණ ගුණදාස ලියනගේ මහතා මුණගැසුනාය.එදින එහි සිටි තරුණ ඡායාරූප ශිල්පිනියක් පත්‍රයේ පළකිරීම සඳහා ඇයගේ උඩුකයේ ඡායාරූප කීපයක් ම ගත්තාය.
“ඔයා ළමා කතාවක් ද ලිව්වෙ” ඡායාරූප ගන්නා අතරතුර ඡායාරූප ශිල්පිනිය ඇසූ පැනය අශෝකාගේ මුවඟට සිනහවක් ළඟාකර දුන්නේය. ඊළඟ සතියක රිවිරැසහි මුල් පිටුවේ අශෝකාගේ ඡායාරූපයක් ද, නවකථාවෙහි අචලාගේ චරිතය නිරූපනය කිරීමට තෝරාගෙන සිටි ප්‍රියංකා පෙරේරා අශෝක එවූ අභ්‍යාසපොත් කියවමින් සිටින ඡායාරූපයක් ද පළකරමින් “අචලා” නවකථාව ඊළඟ සතියේ සිට කොටස් වශයෙන් පළ කරන බව දන්වා තිබුණි.
“මට ඕන වුණේ, ආදරය පිළිබඳ මගේ හිතේ තියෙන භක්තිය අචලාගේ චරිතයෙන් කියන්න. මම කියන ආදරය අතකින්වත් අල්ලන්නෙ නැති සුන්දර සහ දිව්‍යමය දෙයක්. කවදාවත් කසාද නොබැඳ හරි ඒ ආදරයෙන් ජීවිතය කාලයට පුරාවට ඉන්න පුලුවන් තත්ත්වයක්.” එසේ සිතූ අශෝකා හැඳී වැඩුනේ කතාන්දර පොත් කියෙව්වොත් ළමයි නරක්වේය කියා සිතූ වැඩිහිටියන් සිටි සමාජයකය. පිරිමි ළමයකුට ලියුමක් ලිව්වොත් ගැහැනු ළමයකුට බබෙක් හම්බවේය කියා සිතන බොළඳ ළමා අදහස් පිරි බාලිකාවන් සිටි සමාජයකය.
“එක් එක් වයසකදි හිතට එන ආදර හැඟීම්වලින් ගැලවෙන්න බැහැ. ඒවා ඉබේ ම එනවා. අපි හිතන්නෙ නැති කෙනකුට ඇලුම් වෙනවා. ඒකෙදි ජාති කුල මල තරාතිරම බලන්නෙ නැහැ. ඒ හැඟීම මිනිසාගේ පැවැත්ම සඳහා දෙවියො දුන්න තෑග්ගක්; අශෝකා පවසන ලෙස අචලාට මුහුණ දෙන්නට වූයේ එවැනි තත්වයකටය.
සියල්ල පුපුරා යන්නේ අචලා නවකථාව රිවිරැස සති අන්ත පුවත් පතෙහි කොටස් වශයෙන් පළකිරීම ආරම්භ කිරීමත් සමඟය. රූපවාහිනිය නොතිබූ එම අවදියේ ඡායාරූප ද සමඟින් සම්පූර්ණ පත්තර පිටුවක් පුරා පළවූ අචලාට සිංහල පාඨකයන් මහත්සේ ආකර්ෂණය විය. එය ඔවුන් මෙතෙක් කියවූ වර්ගයේ ආදර කතාවක් නොවීය. එය අමුතුම වර්ගයේ එකක් විය. උඩරට රදළ පවුලක පාසල් යන දැරියක්, යකඩ ගොඩක් ආම්බාන් කරන බස් රියදුරකු හා පෙමින් වෙලීම, බොහෝ පාඨකයින්ගේ සිත් උන්මාදයට පත්කිරීමක් විය.
එතෙක් පත්තරයක් නොකියවූ පදික වේදිකාව ඇසුරු කරගෙන රැකියා කරන අය පත්තරයක් කියවීමට පටන් ගත්හ. ඒ රිවිරැසේ “අචලා” කියවීමටය. එක් අතකින් එය පදික වේදිකාවේ සිටි අයගේ මනෝ ප්‍රාර්ථනාවන් සංතර්පනය කළ කථාවක් විය. සිටු කුමරියක් තමන්ගේ පංතියේ ම කෙනෙකුට ආදරය කිරීම ඔවුනට අලුත් ම උද්වේගකර අත්දැකීමක් විය. නගරයේ පදික වේදිකාවේ මිනිසුන් පමණක් නොව ඈත ගම් දනව්වල ගැමියන් ද අචලා නවකථාව කියෙව්වේ මහත් ආශාවෙනි.
අචලා නවකථාවෙහි වැඩිපුර ඇත්තේ සිදුවන සිද්ධීන්ට වඩා අචලාගේ සිතතුළ ඇතිවන මනෝභාවයන් විස්තර කිරීමය. එය නවකථාවෙහි කෙතරම් හෘදයාංගම ලෙස විචිත්‍රණය කර තිබුණේදයත් එකල සමහර තරුණියන් අචලා මෙන් කොන්ඩය පීරීම පමණකින් නොනැවතී බස් රියදුරන් සමඟ පෙම් සබඳතා ද ඇතිකරගත් බව අපි කළින් ද සඳහන් කළෙමු.
“ගුණදාස ලියනගේ මහත්තයා මට මුලින්ම කිව්වෙ ආධුනික අයට ගෙවන්නේ නැහැයි කියලා. ඒත් මුල් කොටස් හතරකට රුපියල් හතළිහ ගානෙ ගෙව්වා. ඊට පස්සෙ හැම කොටසකට ම රුපියල් අසූව ගානෙ ගෙව්වා”, ඒ අචලා නවකථාවේ සාර්ථකත්වය නිසාය. පසුකාලයක අචලා මුණගැසුණු දවස පුවත්පත් ආයතනයේ අළෙවි කළමනාකරු පැවසුවේ එකල ඇයගේ නවකථාව නිසා පත්තර වෙළඳුන්ගෙන් ලැබුණ ඇණවුම් සම්පූර්ණ කිරීමට පවා තමන්ට නොහැකි වූ බවය.
“ඒ කාලෙම මට මුණගැහුන කෙනෙක් කිව්වා ඔහු පූජාපිටියෙ ඉඳල මහනුවරට බස් එකේ යනව කියලා අචලා කියවන්න රිවිරැස පත්තරය මිළට ගන්න.” අශෝකා සමරන්නේ අතීතයේ සොම්නසය. “දවස පත්තර කන්තෝරුවට ගිය මුල් දවසෙ ම ගුණදාස ලියනගේ මහත්තයා කිව්වා තරුණ වයසෙම මේ ලැබෙන ලොකු ප්‍රසිද්ධියෙන් ඔලුව ඉඳිමුව ගන්න එපාය කියලා. වෙලාවකට මට හිතෙනවා මට ඒ අවවාදෙ නරකට බලපෑවද කියලා”, අශෝක වසර පනහකටත් එහා අතීතයට ඇතුල්වෙයි.
අචලා නවකථාව රිවිරැසෙහි කොටස් තුන හතරක් පළවීමත් සමඟ අශෝකා සිංහල විශේෂ උපාධිය ඉගෙනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් විය. ඒ සඳහා ඇය දිනපතා නිවසේ සිට බසයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණෙයි. අචලා කොටස් වශයෙන් පළවෙමින් තිබූ මෙම අවදියේ මහනුවර නගරයේ බොහෝ සාමාන්‍ය මිනිසුන් අශෝකාට හිතවත්කම් පාන්නට වෙයි. අශෝකා ඒ සියල්ලන් සමඟම යාලු මිතුරුකම් ඇතිකරගත්තාය.
“මහනුවර නගරයේ ලොතරැයි විකුණන අය, පත්තර විකුණන අය, වෙනත් කම්කරු වෘත්තීන් කරන අය තමයි මගෙ හොඳම යාලුවො වුණේ. බස් රථවල වැඩකරන අය මට ගොඩාක් හිතවත් වුණා. ඒ කාලෙ කැම්පස් යන්න බස් සීසන් එක ගන්න කවදාවත් මට පෝළිමක ඉන්න සිදුවුණේ නැහැ.” අශෝකා පවසන්නේ අචලා නවකථාව පළවීමත් සමඟ ඇතිවූ අලුත් මිතුරු සම්බන්ධතා පිළිබඳවය. ඒ අතරින් එඩ්මන් සිංඤෝ තරුණයා අශෝකාට වඩාත් හිතවත්කම් පෑය. මුලින් ම හෝටල්වලට අවශ්‍ය අයිස් කුට්ටි අසුලාගෙන ගෙන ගොස් දුන් ඔහු පසුව ජෝර්ජ් ආර් ද සිල්වා මාවත සමීපයේ ටින්කරින් වැඩපොළක් පවත්වගෙන ගියේය.
“මම විශ්ව විද්‍යාලයනුත් පිටවුනායින් පස්සෙ මගෙ රෝස කැලෙන් ඇහින්දෝ නවකථාව ලියන්න මට මුඩුක්කු ජීවිතය ගැන දැනගන්න ඕනවුණා. එතකොට ඔය එඩ්මන් තමයි කීප පාරක් ම නුවර අලි මුඩුක්කුවට මාව එක්කන් ගිහිල්ල මුඩුක්කුවාසීන් එක්ක කතා කරන්න අවශ්‍ය පහසුකම් සලසල දුන්නෙ. එඩ්මන් සිංඤෝ බොහෝ වෙලාවට මට නගරයේදී ආරක්ෂකයෙක් වගේ උනා”, අශෝකා පවසන්නේ එකල ඇයගේ පදික වේදිකා මිතුරන් අතරින් විශේෂිත අයෙකු පිළිබඳවය.
අශෝකා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වූයේ ද අචලා රිවිරැසහි පළවෙමින් තිබූ අවදියේය. එනිසාම එහි යනවිටත් ඇය ජ්‍යෙෂ්ඨයින් ද හඳුනන චරිතයක් බවට පත්ව සිටියාය. අශෝකා විශ්ව විද්‍යාලයට ගිය දවසේ ලියාපදිංචිය සඳහා දිගු පෝළිමක් විය. එනිසා ඇයටත් ඇයගේ පියාටත් බෝහෝ වේලා රැඳී සිටින්නට සිදුවිය.
“එදා හවස තාත්තයි මායි වූස් කැන්ටිමට ගියා තේ බොන්න. එතනදි එක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් මගෙ ළඟට ආවා. ඔහු තමයි චන්ද්‍රසේන මාලියද්ද පසු කාලයක ලොතරැයි මණ්ඩලයේ සභාපති. ආ උඹ ද අර කතාව ලියන එකී, උඹ හිතන්නෙ උඹ අනුලා කරුණා තිලක ද කියල. ඔය වගේ කියන්න පටන් ගත්තා.” අශෝකාගේ නවක වද අවස්ථාවක් ආරම්භ වූයේ එසේය.
අචලා පළවී වසර ගණනකට පසුත් මිනිසුන්ට අචලා අමතක වී නොතිබුණි. විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාව කරන කාලයේදී ඇය තම නැගණියන් සමඟ මහනුවර නගරයේ රෙදි වෙළඳසැලක රෙදි මිළදී ගනිමින් සිටියාය. “පාරෙ යමින් හිටිය සරොම් ඇඳගත්ත බොහෝ ම අව්‍යාජ ගැමි පෙනුම තියන පිරිමි දෙන්නෙක් කඩේ ඇතුලට ඇවිල්ලා. ආ මේ අර කතාව ලියපු ගෑනු ළමයා නේද කියල අපි ළඟට ඇවිල්ලා කියලා ගියා”, අශෝකා පවසන ලෙස ‘අචලා’ ට කැමැති වූ රසිකයින් ඈත ගම්වල වැඩිහිටි පරම්පරාව අතර ද විය.
දැනට වසර දහයකට පමණ පෙර ඇය මහනුවර නගරයේ “මාතර ස්ටෝර්ස්” නම් වූ වෙළඳ සැලකට ගියේ හොඳ රතු කැකුල් සහල් ලබා ගැනීමටය. එහි කළමනාකරු වයස අවුරුදු පනස් පහක් පමණ වූ අයෙකු විය. ඔහු කර පියවූ සුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටියේය. “නෝන නේද අචලා නවකථාව ලිව්වෙ ඔහු අශෝකාගෙන් විමසුවේ ඇය විශ්මයට පත් කරමිනි. ඔහු එසේ ඇයව හඳුනාගත්තේ අචලා පත්තරයහි පළවී වසර හතළිහකට පමණ පසුවය.
හැත්තෑ එකේ කැරැල්ලේ ආරම්භක කාලය අශෝකාගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවසාන වසර විය. 71 කැරැල්ලේ 39 වැනි විත්තිකරු නයනානන්ද විජේකුලතික ඇයගේ සමකාලීනයකු විය. “ඒ කාලෙ විශ්ව විද්‍යාලයෙ පරීක්ෂා කරන්න ආපු සමහර පොලිස් නිලධාරීන් අචලා ලියුවේ කවුද කියල අහල මාව මුණගැහිලා තියෙනවා.” ඒ අශෝකා ලැබූ තවත් අත්දැකීමක්ය. අචලා නවකථාව පළවූ කාලයේ සහ එයට පසු කාලයේ අශෝකාට ලිපි ලැබුණේ තොග ගනණිනි. ලිපි ලියූ අය අතර තරුණයන් පමණක් නොව මැදි වයසේ අය ද වූහ. සමහරක වූයේ ආදර ඇරයුම්ය. ඇයට එසේ ලිපි ලියූ අය අතරින් එක චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයෙකු වූ ඩැනී ඩබ්ලිව් පතිරණ සමඟ අශෝකා තවමත් කුළුපඟය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවූ අශෝකා 1972 අරුප්පොල කාර්මික විද්‍යාලයේ සිංහල භාෂා උපදේශිකාවක් ලෙස තාවකාලික රැකියාවක් කළාය. හැත්තෑහයේදී ඇයට හල්ලොලුව ප්‍රාථමික විදුහලේ ගුරු පත්වීමක් ලැබුණි. එකල ඇය පාසලකින් මාරුවීමක් ලැබ තවත් පාසලකට යන විට එම ගුරුමණ්ඩල ඇය එනතුරු මඟ බලා සිටින සිරිතක් තිබුණි. ඒ අචලාව දැක ගැනීමටය.
බොහෝ දෙනෙකු සිතුවේ අශෝකා තද කොමියුනිස්ට් කාරියක් කියාය. උඩරට රදළ පවුලක ඉපදී බස් රියදුරෙකුට පෙම්කරන පුවතක් ඇය ලිවීම බොහෝ දෙනෙකුට වටහා ගැනීමට නොහැකි කරුණක් විය.“පුංචි ම පුංචි කාලයේ රියදුරෙක් සම්බන්ධ වේදනාත්මක සිදුවීමක් මට මතක තිබුණා. බොහෝ කාලයක් පුරා එම රියදුරා කෙරෙහි මගෙ හිතේ අනුකම්පාවක් තිබුණා”, අශෝකා කියන්නේ කුඩා අවදියේ ඇයගේ සිතෙහි සිටි එම රියදුරා වෙනුවෙන් “අචලා” නවකථාවේ ජයදේව වෙතින් කිසියම් වන්දියක් ගෙවූ බවය.
“එතකොට මම තුනේ පංතියෙ විතර. ඒ කාලෙ මමයි ලොකු මල්ලි ඉගනගන්නෙ අඹතැන්නෙ සිංහල ඉස්කෝලෙ. දවසක් තාත්ත මායි මල්ලීව ඉස්කෝලෙ අරගෙන එද්දි අපිට ලොරියක් හම්බවුණා. අපි ඒකෙ නැඟල ඉස්කෝලෙ ළඟට ආවා. ඉස්කෝලෙ තිබුණ ලොරිය නවත්තපු තැනට විරුද්ධ පැත්තෙ. තාත්ත මල්ලිව එහා පැත්තෙන් තියල එනකම් මට ඉන්න කියල ඉස්කෝලෙ පැත්තට ගියා. මට ෙත්රුමක් නැහැ මම අනිත් පැත්තට යන්න ගියා. මාව කාරෙකක හැප්පිල කාරෙක යට. කාරෙක ටික දුරක් ගිහිල්ල නතර වුණා. මට කිසිම තුවාලයක් නැහැ. මාව කාරෙකට යටවෙනව දැක්කම මල්ලි අඬන්න ගත්තා. මල්ලි අඬනව දැක්කම මටත් ඇඬුනා.
සුදු සරමකුයි, සුදු අත්දිග කමිසයකුයි ඇඳලා හිටිය කාර් එකේ ඩ්‍රයිවර් තාත්තට වැඳල කිව්වා අනේ මහත්තයො මම ළමයි පස් දෙනෙකුගෙ තාත්ත කෙනෙක් මට හිරිහැරයක් කරන් එපාය කියලා. කාරෙකෙ හිටියෙ මරණ ගෙදරක වඩින හාමුදුරුවරු හතරදෙනෙක්. ඔවුන් හතර දෙනත් කිව්වා අනේ මහත්තයො මොනවත් හිරිහැරයක් කරන්න එපාය කියල. පස්සෙ මම පංතියට ගියා. ටික වේලාවකින් අර ඩ්‍රයිවර් එක්ක කොට කලිසම් ඇඳගත්ත පී.සී. කෙනෙක් පංතියට ඇවිල්ලා මගෙන් විස්තර ඇහැව්වා. අර ඩ්‍රයිවර් පංතියෙ කොට බිත්තියට හේත්තුවෙලා කඳුලු හල හල මා දිහා බලාගෙන හිටියා. ඒ දුක්බර බැල්ම මගෙ ජීවිතයටම අමතක වුණේ නැහැ.” අශෝකා පවසන්නේ කුඩාම අවදියක සිදුවීමක් පිළිබඳවය.
අශෝකාගේ නවකථාව පළවූ පසු බොහෝ තරුණියන් බස් රියදුරන් සමඟ පෙම් සබඳතා ඇති කර ගැනීම නිසා බොහෝ දෙමාපියන්ගේ දෝෂාරෝපණ අශෝකාට එල්ල විය. “ඒ කාලෙම මට හිතුනා බස් රියදුරෙකුව එහෙම වීරයකු කිරීමෙන් මම වරදක් ද කළේකියා. ඒ ගැන මට පුංචි පසුතැවිල්ලකුත් ඇති වුණා.” නමුත් ඇය විශ්ව විද්‍යාලයේ අවසාන වසරේදී එම පසුතැවිල්ල නැතිවී යන සිද්ධියක් අශෝකාට අහන්නට ලැබුණා.
“බස් රියදුරෙක් සමඟ පෙම් සබඳතාවයක් ඇති කරගෙන සිටි ගාල්ල පැත්තෙ බාලිකාවක ගෑනු ළමයෙක් විශ්ව විද්‍යාලයට ආවා. ටික කලකින් ඇය සරසවි පෙමක පැටලුනේ බස් රියදුරා අමතක කරමිනි. අවසාන වසරේ ඉගෙනමින් සිටි එම සිසුවා අර ගෑනු ළමයගෙ බඩට දරුවෙකුත් දීලා රටෙනුත් පැනල ගියා. අන්තිමෙ අර බස් රියදුරා අර ගෑනු ළමයව භාර ගත්තා. යකඩ ගොඩක් එක්ක ආම් බාන් වන ඒ ඩ්‍රයිවර්ගෙ හදවත කොච්චර මෘදුද කියල මට හිතුනා”, එම අතීත කථාව පවසන අශෝකාගේ හඬ ද අද ද දුක්බර වෙයි.
අචලා නිර්මාණය කළේ අශෝකාය. ඇය නිර්මාණය කළ අචලා එකල බොහෝ තරුණියන්ට බලපෑවේය. පුදුමය කියන්නේ අනික් අයට තරමට අචලා අශෝකාට ද බලපෑමය. අචලා තමන්ට ලබාගැනීමට නොහැකි දෙයකට ඇලුම් කලාසේ, අශෝකා ද බොහෝවිට ඇලුම්කර තිබුණේ තමන්ට ලබා ගැනීමට නොහැකි දේවලටය. පිටතින් සිට බලන අයට නම් එය ශෝකාන්තයක් වශයෙන් සිතිය හැක. නමුත් ඒ පිළිබඳව අශෝකාගේ ඇත්තේ වෙනම දර්ශනයකි.
“ආදරය කියන්නෙ කලාත්මක වින්දනයක්. ඒක ස්පර්ශ කරන්න පුලුවන් එකක් නෙවි. හරියට ම ලස්සන කවියක් වගේ. ඒ ආදරය වින්දනය කරන්න කායික බැඳීමක් ඕනෙ නැහැ.”
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)