හරි වහර
කලක් තිස්සේ වරදවා යෙදීම නිසා වහරෙහි මුල් බැසගත් ඇතැම් යෙදුම් නිවැරැදි කිරීම ඉතා අපහසු වෙයි. නිතර නිතර දැකීම, ඇසීම නිසා ජන මනසෙහි තැන්පත් වැ ඇති එබඳු යෙදුම්, යමකු ලියන කියන විට ඉබේ ම ඇදී එයි. එවන් වැරැදි වදන් කිහිපයක් අදත් විමැසිල්ලට ලක් කරමින් ඒවායේ හරි වහර මතු කැරගනිමු.
1. අර්බුධ – මේ වදන බොහෝ සෙයින් මුද්‍රණ මාධ්‍යයෙහි දක්නා ලැබෙන්නකි. එ හෙයින් බොහෝ දෙන මෙය නිවැරැදි වදනක් සේ සලකති. මෑතෙක සිට ‘අර්භුද’ යනුවෙන් ද ඇතැමුන් මෙය වහරවන බව දක්නා ලැබේ. ඇතැම් විට, මහාප්‍රාණ අකුරු යෙදූ කල්හි අර්ථය වඩාත් තීව්‍ර වන බවක් ඔවුන් සිතනවා විය හැකි ය. මෙහි නිවැරැදි වදන නම් අර්බුද යන්න යි. මේ සංස්කෘත තත්සමයෙකි.
2. අරලු – මේ විශිෂ්ට ඖෂධයෙකි. තිපල් කසායෙහි ගැනෙන එක් පලයෙකි. සංස්කෘතයෙහි හරිතකි ආදි නම්වලින් හැඳින්වෙන මෙහි නිවැරැදි වදන අරළු යන්න යි. වදන අග (මූර්ධජ) ‘ළු’ යෙදෙන සැටි විමසන්න.
3. අරුණළු – වහරට බෙහෙවින් ම කා වැදී ගිය වැරැදි වදනෙකි මේ. අරුනළු, අරුනලු ඈ විසින් ද ඇතැමුන් මෙය ලියනු පෙනේ. මේ වනාහි සංස්කෘතයෙහි අරුණාලෝක යන්නට අනුරූප සිංහල වදන යි. මෙහි ‘අරුණ’ යනු හිරු නැඟෙන්නට පෙර නැඟෙනහිර අහසේ නැඟෙන රත් පැහැය යි. ‘අලු’ යනු එළිය යි, ආලෝකය යි. සිංහලයෙහි ආලෝක අර්ථයෙහි යෙදෙනුයේ ‘අලු’ විනා ‘අළු’ නො වේ. එ හෙයින් මෙහි නිවැරැදි වදන ‘අරුණලු’ යන්න යි.
4. අරිෂ්ඨ – දුෂ්ඨ, විශිෂ්ඨ ආදි අපශබ්ද ගණයට ම වැටෙන වදනෙකි මේ. සංස්කෘත තත්සමයක් වන මෙය යෙදෙනුයේ සිංහලයෙහි අරිටු (දුෂ්ට, අයහපත්) යන අරුත දීම පිණිස යි. ඖෂධ වර්ග තම්බා එහි සාරය පෙරා පිළියෙල කැරෙන ද්‍රව්‍යයක් හඳුන්වනු පිණිස ආයුර්වේදයෙහි මේ වදන භාවිත කැරේ. මේ කවරක් හඳුන්වනු පිණිස යෙදුණ ද මෙහි යෙදිය යුතු (අල්පප්‍රාණ) ‘ට’ යන්න මැ යි. (මූර්ධජ) ‘ෂ්’ යන්නට පසු වැ ‘ඨ’ විනා ‘ට’ නො යෙදෙති යි යන වැරැදි හැඟුම නිසා ‘අරිෂ්ඨ’ යනු ඇතැම්හු යොදති. නිවැරැදි වදන අරිෂ්ට යනු මැ යි.
5. අරි – අරි යන්න වැරැදි වදනක් නො වේ. එහෙත් වැරැදි අරුතෙක යෙදෙන විට මෙය වැරැදි වදනක් ලෙස සලකන්නට සිදු වේ. එහි නියම අරුත වන්නේ ‘සතුරු’ යන්න යි. දුෂ්ට, නරක ආදි අරුත් දෙනු පිණිස ද වහරෙහි යෙදේ. ප්‍රත්‍යාරි යනු නිපැදෙනුයේ ප්‍රති + අරි යන දෙක්හි සන්ධියෙනි.
‘අරී’ යන හෙළ වදන මෙයට ඉඳුරා ම වෙනස් වූ අර්ථයක් දෙයි. එයින් කියැවෙනුයේ උතුම්, උසස් යන අරුත යි. සංස්කෘතයෙහි ආර්ය යනුත් පාලියෙහි අරිය යනුත් මේ හා අනුරූප වැ යෙදෙන වදන් ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු බුදු දහමෙහි දැක්වෙන පරිදි, නිවන කරා යෑමට ඇති ඒකායන මාර්ගය යි. පාලියෙහි එය අරිය අට්ඨාංගික මග්ග නමින් හැඳින්වේ. සිංහලයෙන් අරී අටැඟි මඟ යැයි යෙදිය යුතු එය අරි අටඟි මඟ යනුවෙන් ඇතැම්හු යොදත්.
එයින් කියැවෙනුයේ සතුරු, දුෂ්ට අංග අටෙකින් යුත් මාර්ගයෙකි. අකුරක් නො ව, පිල්ලකුත් නො ව, පිල්ලෙකිනුත් කොටසක් වැරැදැවීම නිසා වදනෙක අරුත මුළුමනින් වෙනස් වන සැටි කො තරම් පුදුමයක් ද? වදනක් ලිවීමේ දී අප කො තරම් සැලැකිලිමත් විය යුතු ද යනු මෙයින් මැනැවින් පෙනේ.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)