වෙස් වළා ගති ඒ රාත්‍රිය
විපිළිසර ගැහැණියක විලසට.
නිශ්ශබ්ද සුළඟක
අතැඟිලි අතර දැවටී
සොරෙකු මෙන්
ගෙළ වට වෙළෙන විට සෙනෙහස
එතැන රාගය නැතිදැයි
ඇය ඈත් වී විමසයි.
බොඳ වුණු සිතුවමක
වර්ණ මිස
රේඛා සොයන්නට බැරි බව
ඇයට පහදනු නොහැකිව
අහස තනිවම මුමුණයි.
අඳුරට වඩා දිග
මෙ’පිළිසඳරම
සිරකුටියකට පෙරළා
ඇයව තනි කොට
අගුලු ලන්නට හැකි නම්…
හිතුවක්කාර අයුරින්
බිම වැටෙන්නට නියමිත
සියලු තරු කැට
එක ඇස් බැල්මකින්
නතර කරලන්නත් හැකිවෙයි!
වෙස් වළා ගති ඒ රාත්‍රිය
වළාකුලු අතරම සැඟවෙන
පෙමාතුර පිරිමියෙකු විලසට…
* * *
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)