තරිඳු උඩුවරගෙදර
රසික සූරියආරච්චි යනු ‘කතාන්දරකාරයා’ සහ ‘රසිකලොජිස්ට්’ යන ජනප‍්‍රියම සිංහල බ්ලොග් දෙකක ලේඛකයා ය. කතාන්දරකාරයා බ්ලොග් අඩවිය බ්ලොග්කරණයේ වර්තමාන මුහුණුවර සැකසීම සඳහා විශාලතර බලපෑමක් කළ බ්ලොග් අඩවිය ලෙස හැඳින්විය හැකිය. පසුගියදා පැවැත්වුණු ‘2016 නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙලේදී බ්ලොග්කරණය වෙනුවෙන් කළ දායකත්වය සඳහා වූ, ජීවිත කාලයට එක් වරක් පමණක් හිමිවන විශේෂ සම්මානය ඔහුටත් නාලක ගුණවර්ධනටත් පිරිනමනු ලැබිණ. මේ රසික සූරියආරච්චි සමඟ ඔහුගේ අත්දැකීම් ඇසුරින් කරන ලද සංවාදයකි.
ඉන්ටර්නෙට් ලංකාවේ සුලබ මාධ්‍යයක් වුණේ මෑත කාලයක වුණත් ඔබ ඉන්ටර්නෙට් අඩුවෙන් පාවිච්චි වුණු කාලයක ඉඳන්ම බ්ලොග්කරණයේ යෙදිලා තියෙනවා. මුලින්ම බ්ලොග් ලිවීමට යොමුවීම ගැන කතා කළොත්.
අනූදෙකේදී තමයි මුලින්ම මේල් එකක් යැව්වේ. මුලින්ම ඊමේල් යවනකොට ආ ප‍්‍රශ්නයක් තමයි සිංහල අකුරුවලින් කොහොමද යවන්නේ කියලා. මහානාම කියලා පුරෝගාමී පුද්ගලයෙක් සිංහල අකුරු ස්ක‍්‍රීන් එකේ පෙනෙන, ප‍්‍රින්ට් කරන්න පුළුවන් උපකරණයක් හදලා තිබුණා අසූගණන්වල අග විතර. ඒ වුණත් ඒවා සහ ඊමේල් අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. ඉතින් වෙබ් පේජ් එකක් හැදුවොත් ඉංග්ලිෂ්වලින් තමයි. මට මතකයි මුලින්ම සිංහල අකුරු අන්තර්ජාලයේ දකින්න ලැබුණේ දිවයින පත්තරයේ සිංහල වෙබ් වර්ෂන් එකේදී. ‘කපුටා’ කියන අකුරු හරහා තමයි මේ වෙබ් අඩවිය ක‍්‍රියාත්මක කළේ. මං 2005දී මුලින්ම බ්ලොග් එකක් කරනකොටත් ‘කපුටා’ කියන ෆොන්ට් එක හරහා තමයි කළේ. ඒත් වෙබ් එක කරන පුද්ගලයා විතරක් නෙවෙයි ඒක කියවන පුද්ගලයාත් කපුටා ඉන්ස්ටෝල් කරලා නැත්නම් වෙබ් එක කියවන්න බැහැ. පෝස්ට් ලියලා, ඉමේජ් විදියට හදලා, ෆොටෝ බ්ලොග් එකක් විදියට තමයි මගේ මුල්ම බ්ලොග් අඩවිය වුණ ‘පෙම් ගී’ බ්ලොග් අඩවිය පටන්ගත්තේ. 2006 විතර පහුවුණාම තමයි වෙබ්වල යුනිකෝඞ් පාවිච්චි කිරීම පටන්ගත්තේ.
බ්ලොග් අඩවියක් කරන්න ඕනෑ කියන හැඟීම එන්නේ ඇයි?
යොවුන් ජනතා, තරුණයා වැනි පත්තරවල කවි සහ කෙටිකතා පිටුවලට තමයි අපි තරුණ කාලේ ලිව්වේ. කවියක් ලීවාම ඒක වෙන කෙනෙකුට කියවන්න සැලැස්වීමෙන් සතුටක් ලැබීම තමයි සිද්ධ වෙන්නේ. ඒත් ඒ සතුට ලබාගන්න වෙන්නේ කවි පිටුවේ සංස්කාරක ගේ ආකල්පවලට යටත්ව. අනිත් පැත්තෙන් සංස්කාරක වරු විසින් අපට කියවීමට වඩා සුදුසුයි කියන දේවල් තෝරලා පිටුවලට දානවා. පාඨකයෙක් විදියට මම කියවිය යුතු දේ වෙන කෙනෙක් තීරණය කරලා හමාරයි. අවකාශයක අවශ්‍ය තාවක් තිබුණා, මම කැමති දේ කැමති විදියට ලියන්න හා මම කැමති අයගේ දේවල් ගොඩාක් අතරින් තෝරාගෙන කියවන්න. මේ ප‍්‍රශ්නයට විසඳුමක් දුන්න අවස්ථාවක් තමයි බ්ලොග් කියන්නේ.
පෙම් ගී බ්ලොග් අඩවිය තමයි ඔබේ පළවෙනි බ්ලොග් එක. බ්ලොග් හිඟ කාලෙක බ්ලොග් ලිවීම කවර අත්දැකීමක්ද?
බ්ලොග් එකක් ලීවාට වැඩක් නෑ, ඒවා බලන්න කවුරුත් නැත්නම්. මිනිස්සු කියවන්න නම් මෙහෙම එකක් තියෙනවා කියලා මිනිස්සු දැනගන්න ඕනෑ. ඒ කාලයේ ඔෆිස් එකේ කාඞ් එකක් ප‍්‍රින්ට් කරන්න යනකොට වැරදීමක් වෙලා කාඞ් දෙසිය පනහක් අයින් කරන්න වුණා. මම කළේ ඒ කාඞ් දෙසිය පනහේ අනිත් පැත්තේ මගේ නමයි බ්ලොග් ඇඩ‍්‍රස් එකයි ලියලා මුණගැහෙන අයට දුන්නු එක. ඒ ටික ඉවරවුණාම මම කාඞ් එකක් ප‍්‍රින්ට් කළා. මම එහෙම කළ පළවෙනි පුද්ගලයා විතරක් නෙවෙයි, තවමත් රසිකලොජිස්ට් බ්ලොග් අඩවිය ප‍්‍රචාරය කරන්න මම ඒක කරනවා. කාඞ් එක සංසරණය වෙනකොට බ්ලොග් එක කියවන්න කට්ටිය ආවා.
සිංහල බ්ලොග් කලාවේ පුරෝගාමියෙක් ලෙස ඔබ පිළිගැනෙන්නේ කතාන්දරකාරයා බ්ලොග් අඩවිය හරහා. ඒක පටන්ගත්තේ කොහොමද?
කතාන්දරකාරයා පටන් ගන්න කාලය වෙනකොට සිංහල බ්ලොග් සැලකිය යුතු ප‍්‍රමාණයක් තිබුණා. අජිත් පැරකුම් ජයසිංහගේ බ්ලොග් එකත් 2009 මුල හරියේ පටන් අරන් තිබුණා. 2007 විතර ඉඳන් කළ ‘මගේ බිත්තිය’ කියලා බ්ලොග් එකක් තාමත් තියෙනවා. බ්ලොග් කිහිපයක් හැරුණාම බහුතරයක තිබුණේ තාක්ෂණික කරුණු. ඊට අමතරව පැරකුම්, ටැබූ සබ්ජෙක්ට් හා බියොන්ඞ් ෆේ‍්‍රම් වගේ මීට මාස කිහිපයකට කලින් පටන් ගැනුණු දේශපාලනික කාරණා ලියැවුණු බ්ලොග් අඩවි තිබුණා. මගේ බ්ලොග් එක මම පටන් ගත්තේ කතාන්දර කියන්න. කතාන්දර කීමේ එක්තරා කලාවක් තියෙන නිසා ඒක ඔස්සේ ගිහින් මගේ අත්දැකීම් මුසුවෙච්ච සාහිත්‍යමය වැඩක් කරන්නයි මට අවශ්‍ය වුණේ.
කතාන්දරකාරයා පටන්ගෙන කාලය ගතවෙද්දී බ්ලොග්කරණය කලාවක් විදියට වර්ධනය වුණා. ඒක සිද්ධවුණේ කොහොමද?
මම කතාන්දරකාරයා පටන් ගත්ත කාලයේදී කියෙව්වේ දේශපාලනය හා සමාජමය දේවල් තිබුණු බ්ලොග් අඩවි පමණයි. අජිත් පැරකුම්ගේ බ්ලොග් අඩවියේ මුල් කාලයේ ලිපි බැලූවොත් තේරෙයි ඔහු බ්ලොග් අඩවිය ආරම්භ කරලා තිබුණේ ප‍්‍රවෘත්ති ස්වරූපයට වැඩි තැනක් දීපු බ්ලොග් පෝස්ට්වලින්. මාස කිහිපයක් අත්හදා බලලා ඔහු දේශපාලන විචාර ස්වරූපයේ බ්ලොග් ලිපි ලියන්න පටන් ගත්තා. මම අලූත් බ්ලොග් එකක් පටන් ගන්නවා කියලා කල්පනා කළාට එකපාරටම ඒක පටන් ගන්න ගියේ නැහැ. මම මුලින්ම කතාන්දර දහතුනක් ලීවා. මම ඊමේල් එකට එකතු කළා බ්ලොග් එකේ ඇඩ‍්‍රස් එක. ඉන්පස්සේ මගේ මේල් ලිස්ට් එකේ ඉන්න අයට යැව්වා, මම මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්නවා කියලා. මගේ බ්ලොග් අඩවිය පටන් අරන් මාසයක් විතර ගතවෙනකොට වෙන අය මට කතා ලියලා එවන්න පටන් ගත්තා. මම සමහර ඒවා පළකළා. සමහර අයට මම කියනවා, ඔයාට හොඳට ලියන්න පුළුවන් නිසා ඔයා බ්ලොග් එකක් පටන් ගන්න කියලා. එහෙම පටන්ගත්ත එකක් තමයි, පුෂ්පා රම්ලනී පටන් ගත්ත ‘අක්කණ්ඩි’ කියන බ්ලොග් අඩවිය.
ඔබ කතාන්දරකාරයා එක්වරම නවත්වන්න තීරණය කළා. ඉන්පසුව 2014දී තමයි රසිකලොජිස්ට් පටන්ගත්තේ.
කතාන්දරකාරයා අඩවිය ඇතුළේ මටම පැනවුණු සීමා ටිකක් තිබුණා. මම බ්ලොග් අඩවියේදී කොහේදිවත් කියලා නැහැ මම ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවේ, මගේ නම මේකයි වගේ දේවල්. රසික හා කතාන්දර අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඕනම දේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙන නිසා කල් ඉකුත් වෙන්න කලින් කතාන්දර කීම කියන එකෙන් අයින් වෙන්න තීරණය කළා. ඒ වනවිට කතාන්දර අඩවියේ ලිපියක් දැම්මාම, දාන දවසේ කියවන්න 3000ක් පමණ එන, අනෙක් දිනවල 1000ක් පමණක් එන තත්වයක් අන්තිම කාලේ තිබුණා. එකිනෙකට සම්බන්ධ කතාන්දර කියවන්න කට්ටිය යොමු වුණා. එක්කෙනෙක් මට මේල් එකක් දැම්මා, වැඩ ඇරිලා මගේ බ්ලොග් එක කියවන්න පටන් අරගෙන ? දෙක වෙනකන් කියවලා ඉවර කරන්න බැරිවුණ නිසා ඊළඟ දවසේ නිවාඩු අරන් පහුවදා දවසේම කතාන්දර කියෙව්වා කියලා. ඒකෙන් කියැවෙන්නේ මම ලියන එක විශිෂ්ට බව නෙවෙයි, මගේ ලිවීම හරියටම එයාගේ රසිකත්වයට සමපාත වෙලා. එයාට ඒ කැමැත්ත සන්තර්පණය කරගන්න මගේ බ්ලොග් එක කියවන්න ලැබුණා. ඒ වාගේ තත්වයක මාස ගණනක් තිස්සේ ලිවීම අවසානයක් කරා ගෙනියන්න සැලසුම් කළා. හරියටම අවුරුදු පහක් පිරෙනකොට මම පෝස්ට් එකක් දාලා බ්ලොග් අඩවිය නැවැත්වූවා. ඒත් බ්ලොග් එක නැවැත්වුවාට පස්සේ ඒ විදියට ඉන්නත් බැහැ වගේ දැනුණේ ඇබ්බැහියක් තිබුණු නිසා. ඉන් මාස කිහිපයක් කල්පනා කරලා ප්ලෑන් එකක් එක්ක තමයි රසිකලොජිය පටන් ගත්තේ.
බ්ලොග් ගැන කිසිවක් නොදන්නා අය පවා තවමත් ඉන්නවා. බ්ලොග් අඩවි ගැන ප‍්‍රසිද්ධිය ඇති කරන්න පුළුවන් කොහොමද?
බ්ලොග් සම්මාන උළෙල වගේ දෙයක් වුණත් වැදගත් වෙන්නේ ඒවා හරහා බ්ලොග් කලාව වැඩියෙන් මිනිස්සු අතරට යන නිසා. මිනිහෙක් පොත් එළිදැක්වීමකට යන්න ගතකරන කාලය, ප‍්‍රවාහන වියදම් වගේ ඒවාට යන වැය වැඩියි. පොත් කියවන පිරිස අඩුවෙමින් පවතිනවා. බ්ලොග් කියවන පිරිස ඊටත් වඩා අඩු වුණත් බ්ලොග් කියවන පිරිස වැඩිවෙන්න තියෙන ශක්‍යතාව වැඩියි. ගොසිප් වෙබ් අඩවියකට ගියොත් දකින්න පුළුවන් ඒවායේ සාමාන්‍ය බ්ලොග් එකක දකින්න නොලැබෙන තරම් කමෙන්ට් ලැබෙනවා. ලංකාවේ ඉන්ටර්නෙට් හරහා ලියන හා කියවන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව බ්ලොග් කලාවට එකතු කරගන්න තවත් උත්සාහ කරන්න ඕනෑ. බ්ලොග් කියවන හා ලියන අය මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ.
බ්ලොග් ඇබ්බැහියට වඩා ෆේස්බුක් ඇබ්බැහියක් තමයි ලංකාවේ තියෙන්නේ. බ්ලොග් හා ෆේස්බුක් අතරින් බ්ලොග් වැදගත් වෙන්නේ කොහොමද?
ෆේස්බුක් බ්ලොග් වලට වඩා වැඩි පිරිසකට පණිවිඩය යවන්න පුළුවන් මාධ්‍යයක් විදියට සලකනවා. ඒ නිසා ෆේස්බුක් හරහාම සන්නිවේදනය කරන පිරිසකුත් ඉන්නවා. මේ අය බ්ලොග්වලට යොමු නොවෙන්නේ ෆේස් බුක්වල තරම් ප‍්‍රතිචාර නොලැබෙන හින්දා. ඒත් ෆේස්බුක්වල තියෙන ප‍්‍රශ්නය, ඒක වෝල් එකක ලියන දේවල් මිසක් තැන්පත් වෙලා පවතින්නේ නැහැ. මේ අය සහ මේ අයව කියවන පුද්ගලයන් බ්ලොග් වෙත යොමුවෙනවා නම් ඒක වැදගත් වෙන්නේ ඒ නිසායි. කමෙන්ට් සහ පෝස්ට් ෆේස්බුක් එකේ වගේ නැතිව දින වකවානු එක්කම බ්ලොග් තුළ සංරක්ෂණය වෙනවා. හොඳම බ්ලොග් රචකයන් පවා බ්ලොග් අතහැරලා ෆේස්බුක්වලට ඇබ්බැහි වුණා. අනිත් පැත්තෙන් මයික්‍රො බ්ලොගින් මාධ්‍යයක් විදියට ට්විටර් වෙත යොමුවුණා.
අලූතින් බ්ලොග් කියවන කෙනෙක් හා ලියන කෙනෙක් බ්ලොග්කරණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම කතාන්දර බ්ලොග් එක ලියද්දී මම කියවන බ්ලොග් කියවලා පැත්තකින් බ්ලොග්වල ලැයිස්තුවක් තිබ්බා. මේ වෙද්දී බ්ලොග්කරුවන් තමන්ගේ බ්ලොග් එකේ ඔවුන් කියවන බ්ලොග්වල ලැයිස්තුවක් දාලා තියෙනවා. අලූතින් බ්ලොග් කියවන්න එන කෙනෙකුට ඒවා හරහා හොඳ බ්ලොග් තෝරාගන්න පුළුවන්. අනෙක් ප‍්‍රධාන ක‍්‍රමය සින්ඩිකේටර් කියන එක. මාතලන්ගේ සින්ඩිය, කොත්තු, ලාංකීය සිතුවිලි වගේ ජනප‍්‍රිය සින්ඩිකේටර්වල ලියැ වෙන බ්ලොග් ලිපි වැටෙනවා. එතැනින් තමන් කැමති විදියේ බ්ලොග් සහ වැඩි පිරිසක් කියවූ බ්ලොග් අඩවි හොයාගන්න පුළුවන්. අලූත් බ්ලොග්කරුවෙකුට අනෙක් ජනප‍්‍රිය බ්ලොග්වල කමෙන්ට් කරලා සංවාදවලට එකතුවීම තුළිනුත් තමන්ගේ බ්ලොග් අඩවිය වෙත පාඨකයන් ගෙන්වාගන්න පුළුවන්. ෆේස්බුක් වැනි වෙනත් වෙබ් අඩවිවලට ෂෙයාර් කිරීමත් කරන්න පුළුවන්. පොත් කඬේකට ගිහින් පොතක් අහුවෙනවා වගේ බ්ලොග් අඩවියක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අපි අනිත් අයට පණිවිඩය ගෙනිච්චේ නැත්නම් අන්තර්ජාලයේ මුල්ලක බ්ලොග් එක කොන්වෙලා තියේවි.
http://ravaya.lk/
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)