ප්‍රේමයේ වත්සුණු තැවරුණු උරිස්සේ
සුසුම් තෙත දියවුණා පිනි වැස්සේ
දහඩිය කඳුළු මුසු ජීවිත පියස්සේ
වැහිලිහිණියේ ඇයි උඹ ඔය උළුවස්සේ
“උණුහුමක් හෙව්වා
ගින්දරයි ලැබුණේ
ගින්දරට රැවටුණා
ආත්මෙයි පිච්චුණේ”
කහට ගැහුණු පියපත් පිරිමදින්න ද
කෝපි මණ්ඩි පාටයි කෙස් බඳින්න ද
රෑන රෑන පීරා පුතු හොයන්න ද
වීර ගහේ අතු අස්සෙම හිඳින්න ද
ගිම්හානෙක ඇවිත් පිල උඩම වහනවා
හේමන්ත කවියක්ව හීතලම හොයනවා
වේවැල් පැළැල්ලෙන් තත්සරත් වයනවා
මගෙ පපුව පහුරු ගා ලේ රහත් බලනවා
ඇඟිළිකරු අස්සෙනුත් පින්නෙ පිනි පෙරෙනවා
ඉරටු හඳ වුණත් හැම රෑම රැස් ගලනවා
වසන්තේ හංගාපු හුස්ම හිර කරනවා
සංසාරෙ උඹ තමයි මගෙත් ඇස් රිදෙනවා
”ප්‍රේමයේ අකුරු ඇද වුණෝතින්
මහාවංශෙක කොළත් හැළෙනවා
කිරිල්ලක විලාප නැඟුවෝතින්
විශ්වයෙම කැදලි බිඳ වැටෙනවා”
මළ කෑ හදවතේ මුරිච්චි ඇණ බිඳලා
කීරි ගාන ජීවිත පොත ඇත ඇරිලා
අඟුරු කැබැල්ලෙන් මැටිබිත්තියෙ ඇඳලා
අකුරු දිය වුණත් සෙවණැළි නැත මැකිලා
මහළු මල් දෙකක් නටුවට
පෙම් බැන්ඳ
දාස් පෙති පුරා පෙම්
ලියවැල් ඇන්ඳ
අහස්කුස දිහා ඉගිලෙයි
පැටවුන්ද
දෑස් දෙක පියා ගමු
සැනසිල්ලෙම ඉන්ඩ!
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)