පල්ලියේ දොරකඩට වී හිඳ
වයස්ගත වූ මේරි අම්මා
කඳුළු වියැළී සිඳුණු බොර පැහැ
නෙතින් පෙරමග බලන්නී
ඇස් රිදෙනතුරු බලා හිඳිමින්
නත්තලට දින ගනින්නී
ඇගේ ඇකයෙන් රැගෙන ගිය පුතු
යළි එතැයි මග බලන්නී
හෝඩුවාවක් නැතත් පුතු ගැන
එතැයි හදවත කියන්නී
රතිඤ්ඤා හඬ ඇසී ඉඳහිට
නැඟිට වටපිට බලන්නී
තිගැස්සී ගිය හදින් නැවතත්
තනි ව දෙවියන් යදින්නී
අතරමග යම් දොසක් වී දැයි
හිත හිතා ඈ තැවෙන්නී
කටු ඔටුනු ලා, දෙ අත් සිරකළ
පුංචි පුතු ගැන අසන්නී
පුතු ව හීනෙන් සොයන්නී
කඳුළු කිරිබිඳුවලට හරවා
පුතු ගෙ දෙතොල’ග තෙමන්නී
තැලුණු, සියුමැලි සිරුර පිරිමැද
හීනෙනුත් ඈ හඬන්නී
පල්ලියේ දොරකඩින් අද හෙට
එතැයි ඉස්සී බලන්නී
කටු ඔටුනු හැර නිදහසේ පුතු
එතැයි තනිවම කියන්නී෴
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)