පියෙන් පිය දුර ඈත යනු බැරුව
පියකු විය හිතගාව මුර කෙරුව
පියහඹන පියපත්ද පුද කෙරුව
පිය වදන් හදවතට මුහු කෙරුව
ඔහුට තිබුණා ලියන මේසයක්
සිමෙන්තියෙ සීතලට සයනයක්
වැහි වතුර ගෙට ගලන වහලයක්
හදවතට වෙඩි තියන හීනයක්
ගිනි අවියකිය සිංහ ආසනේ
සීතලය කඳුළු බිඳු යාපනේ
එසිත අවතැන් වන්ට කාරණේ
කියා දෙනු මැන දේව සාමිනේ
සිංහලෙන් දෙමළ හිත් පිරිමැද්ද
රණහඬය නමුදු බෝ නිස්සද්ද
දුනු ඇදෙන්නට ගේ ය පද විද්ද
එවන් වූ හදවතක් තව ඇද්ද
සිංහලෙන් ගී ගැයූ කිරිල්ලී
සුදු කොඩි මැදින් එද්දි ඉගිල්ලී
වෙඩි තිබ්බ කෙසරුන්ට ගසල් ලී
කිවිඳුන්ට කවි ලියමි නොසෙල්ලී
සිහිනෙනු ත් රළ බිඳෙන හඬ ඇහුණ
කොටුවෙ සිටි නමුදු කොටු කළ නොහුණ
මධු විතක ආදරය මුණ ගැහුණ
හිස කෙසත් මට වටී ඔය පැහුණ
ඇස පෙළන ඔය උපැස ගලවන්න
බොඳ ඇහින් කඳුළු බිඳු දැක ගන්න
තුඩ බිඳුණු පන්හිඳට පණ දෙන්න
ඔබෙ මුහුණ යළි වරක් දැක ගන්න
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)