සේකර හෙමිහිට ඇවිදින්
මගේ කනට කොඳුරයි
“රසිකෝ,මම කියන දේ අහන්න
කවි ලියන එක නවත්තන්න.
ලියන්නම ඕනිනම්
මේ විදියට ලියන්න.
සම්මාන ගන්න,කවි පොත් ගහන්න
රසිකයන් අතරේ ජනප්‍රිය වෙන්න
දුප්පත්කම ගැන කවි ලියන්න.
විප්ලවේ ගැන කවි ලියන්න.
පපුව මැදටම වදින විදියට
සීස් ගාල කඳුළු එන විදියට
මම ලිව්ව විදියට කවි ලියන්න.”
‘සේකර,
මට සමාවෙන්න.
මං දුප්පත්කම ගැන දන්නේ නෑ
මං බඩගින්නේ ඉඳලා නෑ
මුඩුක්කුවකට පය ගහල නෑ
ඉතින් කොහොමද මම
නොදන්න දේ ගැන කවි ලියන්නේ?
සිඳුණු ප්‍රේම,බිඳුණු ප්‍රේම
නොකී ප්‍රේම,නොලද ප්‍රේම
කීපයක්ම මං දන්නවා .
ඉර බහින හැටි,හඳ නැගෙන හැටි
මූදු රළ ගල්පර සිඹින හැටි
වැස්ස ඇවිදින් සිනාසීගෙන
කවුළුවෙන් මට අත වනන හැටි
උසම උස කඳු සුදු මීදුමට
කෝළ පාමින් පෙම් කරන හැටි
මං දකිනව ,මං දන්නවා .
ඉතින් ඒව ගැන ලියනවා.
මට ඕනි නෑ කවියෙක් වෙන්න
මට ඕනි රසිකයෙක් වෙන්න.’
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)