වසන්තය ඉවරයි කිව්වමත්
මල් පිපෙන මිටියාවතක
ඔබ තනියෙන්දැයි සිතමි
කවියකට කවියක් ගානෙ
උත්තර නැති කවි ලියවෙන කොට
හේමන්තයේ අග දිලිහෙන
අවසාන මල් සුවඳපොද විඳිම්
තෙතබර වෙච්චි ඇහිපියන් අග
සමනළ තටු වලින් පාට ගෙන
අඳුන් සාදා ගනිමි
වැටෙන්නේ කඳුලු නොව
එකින් එක එකතු කළ
පුංචි පුංචි හීන බැව්
ඔබට නොකියා- දෙතොලතර හිනාවක් මවමි
ඔබෙ දෑස් මඟාරින්නට
වෙන වෙනම කරුණු- ගොනු කර ගනිමි
නූපුර පවා හැඬවෙන හැන්දෑවක
අඳුරු මන්දාරම් වැහිකෝඩයෙන් තෙමෙමි
හුස්ම වැටෙන හදවතක
තෙරපෙන වැලපෙන සිතුවිල්ලක හැඩය
දෙකොපුලෙන් පිස දමමි
ඉහිරවා කොපුල් තල මත
ගැලූ සිහිලැති දියෙහි
ආදරය නම් යමක් ගැලී ගැල වී තිබිණි.
වසන්තය ඉවරයි කිව්වමත්
මල් පිපෙන මිටියාවතේ
ඔබ තනියෙන් නොවන බැව් දනිමි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)