අපේ න ණ ල ළ – බර්ට්‍රම් ජී. ලියනගේ

No Comment 1431 Views

‘මරාටි’ කියන්නේ මහාරාෂ්ට්‍රයේ භාෂාවය. එය මහාරාෂ්ට්‍රී ප්‍රාකෘතයෙන් බිඳී සංවර්ධනය වූ භාෂාවක් යයි කියතත් අද වන විට ප්‍රාකෘත ලක්ෂණ එකක්වත් එහි නැති තරම්ය. මා මහාරාෂ්ට්‍රයට යන්නේ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත ගැන මනාව ඉගෙන එම භාෂාව ලංකවේදී අවුරුදු දෙකක් පමණ උගන්වා අත්දැකීම්ද සහිතවය. එහෙත් මහාරාෂ්‍රට්‍රයේදී මා දුටුවේ අද ව්‍යවහාර වන මරාටි සහ මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත අතර සම්බන්ධයක් පෙන්විය නොහැකි තරම් වන බවය. මේ තත්වය විසින් මා පොළොඹවනු ලැබුවා නූතන මරාටි භාෂාව පිළිබඳ යම් අධ්‍යයනයක් කිරීමට. වසර දෙකහමාරක් පමණ ඔවුන් සමගම ජීවත් වෙමින්, ඔවුන්ගේ මළගෙයට, මඟුල්ගෙයට සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කුඩා දරුවන්ට බුදුදහම උගන්වමින් ඔවුන්ගේ කෙනෙකු ලෙස මා ගත කළ ජීවිතය තුළ මා මරාටිභාෂාව පිළිබඳ උගත් පුදුම සහගත කරුණක් ගැන සඳහන් කරමින් එය අප සමග සසඳා බැලීමේ අටියෙන් මෙසේ ලියමි.

මහාරාෂ්ට්‍රයේ ජනතාව කෝටි දොළහකි. මේ කෝටි දොළහක ජනතාවම කතා කරන්නේ මරාටිභාෂාවය. මේ කොටි දොළහ අතරින් 48%ක් පමණ සම්පූර්ණයෙන්ම අකුරු නූගත් පිරිසකි. ඔවුන්ට යටත් පිරිසෙයින් තමන්ගේ නමවත් ලියා ගන්නට නොහැකිය. අකුරු උගත් යයි සැලකෙන 52% පමණ පිරිස අතුරින්ද උපාධි, පශ්චාද් උපාධි මට්ටමට අධ්‍යාපනය ලබා ඇත්තේ ඉතාම අතළොස්සකි. පුදුම සහගත කතාව මෙය නොවේ. මේ තරම් අඩු අධ්‍යාපන මට්ටමක් තිබියදී පවා, අපි හිතමු පාසල් යන පොඩි කොලුවෙකු හෝ රස්තියාදුකාරයෙකු හෝ තාප්පයක කිසියම් විකාරයක් ලියා තබන බව. එබඳු සරල නොවැදගත් අවස්ථාක පවා ඔවුනට න ණ ල ළ, මහාප්‍රාණ අල්පප්‍රාණ ආදි කොටගත් අක්ෂරවින්‍යාසය වරඳින්නේ නැත!!!

මරාටි හෝඩිය සකස් වන්නේ අපේ වගේම සංස්කෘත හෝඩිය පදනම් කර ගෙනය. අප වාගේම ‘ඇ’ යන්න හෝඩියට ඇතුළත් කර ගෙන ව්‍යවහාර කරන පිරිසකි ඔවුහු. ඔවුනට අපට වාගේම න ණ දෙකක් ඇත. සම්මත මරාටි තුළ ‘ළ’ යන්නක් නැත. එහෙත් ප්‍රදේශීය උපභාෂා ව්‍යවහාරය තුළ ඇති අවස්ථා ඇත. අනෙකුත් මහාප්‍රාණ අල්පප්‍රාණ ආදි භේදයන් අපට සමානව ඇත. මේ සියල්ල මේ විදිහට තිබියදී ඔවුනට අක්ෂරවින්‍යාසය යයි අමුතුවෙන් දෙයක් උගන්වන්නේද නැත. ඒ සඳහා පරිශ්‍රමයක් දරන්නේද නැත. එසේ නම්, ඔවුන් නිවැරදිව අක්ෂරවින්‍යාසය රැක ගෙන ලියන්නේ කෙසේද?

එයට එකම හේතුව, සෑම අකුරක්ම අතිශය වෙනස් ලෙස උච්චාරණය කිරීමට ඔවුනට ඇති හැකියාවයි. ඔවුන් න ණ යනුවෙන් කියද්දීත් ල ළ කියද්දීත් ස ෂ ශ යනුවෙන් කියද්දීත් ඒවායේ උච්චාරණය එකිනෙකට වෙනස්ය. මේ නිසා ඔවුන් ඇත්තටම කරන්නේ තමන් උච්චාරණය කරන අකුර ඒ විදිහට ලිවීමය. මේ සඳහා ඔවුන්ට අමුතුවෙන් වෑයමක් දැරීමට අවශ්‍ය නැත. සෑම වචනයකම උච්චාරණය වෙන වෙනම ඔවුන්ගේ කනට ඇහෙන නිසා ඒවායේ අකුරු මතක තබා ගැනීම යනුවෙන් ඔවුන් අමුතු දෙයක් කරන්නේ නැත.

එසේ නම් දැන් ඔබට වැටහී යා යුතුයි සිංහල අපට අක්ෂරවින්‍යාසය ගැටලුවක් වන්නේ ඇයිද යන්න. අප උච්චාරණය කරන ආකාරයත් ලියන ආකාරයත් දෙවැදෑරුම් වේ. ණය, නය යන පද දෙක වෙනස් ආකාරයකට උච්චාරණය කිරීමට අපට නොහැකිය. මේ පද දෙකම උච්චාරණය කිරීමේදී අසන්නාට එකම පදයක් සේ ඇසෙයි. ල ළ සම්බන්ධයෙනුත් එසේමය. පැල, පැළ කියා අප කියන්නේ එකම ක්‍රමයකටය. මේ නිසා ඒ පදවලට අදාළ අක්ෂරවින්‍යාසය මතක තබා ගැනීම අයාසයෙන් කළ යුතු වේ.

මේ තත්වය සිංහලභාෂාව තුළ ඇති වන්නේ අද ඊයෙක නොවේය. අප හොඳින්ම දන්නා පරිදි පාලිභාෂාවේ ල ළ යන විවිධත්වය ඇත. එය වෛදිකභාෂා ආභාසය ලබා ප්‍රාකෘතභාෂා බිහි වීමේ මුල් අවධියේ ඇති වූ භාෂාවකි. එහෙත් ‘රූපසිද්ධි’ කතුවරයා (පොලොන්නරු යුගයේදී) පවසන්නේ ‘ළලානමවිසේසෝ’ යනුවෙන් ළ ල දෙකේ වෙනසක් නැති බවය. තවත් ලෙසකින් කීවොත් රූපසිද්ධි කතුවරයාට අනුව ලඞ්කා කීවත් ළඞ්කා කීවත් දෙකම නිවැරදිය. මෙය කිසිසේත්ම භාෂාවිද්‍යාත්මක සත්‍යයක් නොවන බව අපි දනිමු. එසේ නම් මේ කතුවරයා කියන කාරණයේ සත්‍යය කුමක්ද? එයින් ඇත්තටම කියැවෙන්නේ පොලොන්නරු යුගය වන විටද ළ ල යන දෙක වෙන වෙනම ශබ්ද දෙකක් ලෙස උච්චාරණය කිරීමට ලංකාවේ වැසියන් අසමත් වූ බවය.

මීනියා තත්වයක් සිංහලභාෂාව තුළ උද්ගත වූයේ ඇයිද යන්න දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණකි. එහෙත් මගේ මේ සටහන කරුණු තුනකට හා උදාහරණ ස්වල්පයකට සීමා කරමි.

01. පළමු වන වැදගත් කරුණ නම් සිංහලභාෂාව එක් භාෂාසම්ප්‍රදායයකට අයත්ව නොවැඩී විවිධ භාෂාසම්ප්‍රදායයන් සමග සම්මිශ්‍රිත වැඩී ආ භාෂාවක් වීමයි. මහාවංස ආදි වංසකථාවල කුමක් කීවද ලංකාද්වීපයට වරින් වර ඉන්දියාවේ විවිධප්‍රදේශවලින් සංක්‍රමණිකයන් පැමිණ ඇති අතර අග්නිදිග ආසියාතික රටවලින්ද ඈතින් පිටිහි ජාවා සුමාත්‍ර වැනි ප්‍රදේශවලින්ද සංක්‍රමණිකයන් පැමිණ ඇත. ඔවුන් එසේ පැමිණීමේදී තමන්ගේ භාෂාවල තිබූ ඇතැම් ගති ලක්ෂණ ඒ ආකාරයෙන්ම මෙහි ගෙන විත් ඇත. හොඳ උදාහරණයක් මේ සඳහා ඉදිරිපත් කළ හැකිය. එනම් ‘ඍ’ කාරයේ උච්චාරණයයි. මෙම අක්ෂරය නැඟෙනහිර ඉන්දියාවේදී ‘රි’ යන ශබ්දයට සමානව උච්චාරණය වන අතර බටහිර සහ වයඹදිග ඉන්දියාවේදී ‘රු’ යනුවෙන් උච්චාරණය වේ. මේ අනුව ඍතු (රිතු), ගෘහ (ග්රිහ), කෘත (ක්රිත) යනුවෙන් නැඟෙනහිර ඉන්දියාවේ කියැවෙන පද බටහිරට එන විට කියැවෙන්නේ ඍතු (රුතු), ගෘහ (ග්රුහ), කෘත (ක්රුත) යනුවෙනි. සිංහල අපේ උච්චාරණය බැලුවහොත් මේ දෙකම සම්මිශ්‍රණය වී කියැවෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැතැයි සිතමි. අප ඍතු (රිතු) යයි කියන අතර ගෘහ (ග්රුහ) යයිද කියමු. මෙසේ වන්නේ ඉන්දියාවේ නැඟෙනහිර සහ බටහිර යන දෙපැත්තෙන්ම පිරිස් අප රටට පැමිණි නිසාවෙනි.
02. දෙවන වැදගත්ම හේතුව නම් භාෂාපරිණාමයේ ‘යූ’ (U) නැම්මක් පොලොන්නරු යුගයේදී ඇති වීමය. මෙය ආරම්භ වූයේ භාරතයේ ගුප්ත අධිරාජ්‍යයේ බලපෑම නිසාය. ගුප්ත අධිරාජ්‍ය බිහි වන විට ඉන්දු-ආර්ය භාෂා බොහෝමයක් ප්‍රාකෘතභාෂා ලෙස සංවර්ධනය වෙමින් තිබිණ. සේතුබන්ධ මහාකාව්‍ය, බෘහත්කථාව සහ ජෛනකෘති ලිවීම ප්‍රාකෘතභාෂවේ වැදගත්කම උසස් කර තිබිණ. නූතන හින්දිභාෂාවේ මුල් ආකෘතිය වන ‘අපභ්‍රංශ’ භාෂාව බිහි වන්නේද මේ අවධියේය. එහෙත් මේ සියල්ල ඉවත ලා ගුප්ත අධිරාජ්‍ය විසින් ස්වකීය අධිරාජ්‍යයේ රාජ්‍යභාෂාව ලෙස සංස්කෘත යොදා ගැණිනි. මේ නිසා ඒ වන තුරු ප්‍රාකෘතයෙන් ලියමින් සිටි ජනතාව ප්‍රාකෘත, සංස්කෘත සමග මුසු කොට ලියන්නට පුරුදු විය. නූතන ඉන්දු ආර්යභාෂා සියල්ල බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. එය එකල රැල්ලක් මෙන් සෑම ප්‍රදේශයකම පැතිරී ගොස් තිබිණ. ලංකාවටද එය හඹා ආවේය. ඒ පොලොන්නරු යුගයේදීය. ධම්පියා-අටුවාවේ නැති, සියබස්ලකරේ නැති පාලි, සංස්කෘත ඌරුව අමාවතුරට, බුත්සරණට ලැබුණේ ඒ නිසාවෙනි. මෙම ‘යූ’ හැරවුම, ඉන්දියාවේ තිබූ බොහෝ භාෂාවලට මෙන් නොව, ලංකාවට ආවේ අසල්වැසි මහාරාජ්‍යයේ ආභසයෙන් විනා ස්වභාවික භාෂා පෙරළුමක් මෙන් නොව කෘත්‍රිමවය. අප ඒ වන විට මහාප්‍රාණ උච්චාරණය අතහැර දමා ශතවර්ෂ පහක් පමණ ගත වී ගොස්ය. කොටින්ම මහාප්‍රණා උච්චාරණය කරන්නෙ කෙසේද කියා ඒ වන විට අප දන්නේ නැත. එහෙත් මෙම නව භාෂාප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා නැවත මහාප්‍රාණ භාෂාවට පැමිණ තිබුණි. ඒවා උච්චාරණය කිරීම නොදන්න නිසා හුදෙක් ලේඛනයට මිස භාවිතයට එය පැමිණියේ නැත. අදටත් පොදු ජනතාව, භාවිත, සාධු, සංඝ වැනි පද උච්චාරණය කරන්නේ බාවිත (හෝ බාවිතා), සාදු, සංග යනාදි ලෙසටය.
03. තවත් වැදගත් කාරණයක් නම් ශතවර්ෂ ගණනාවක් යන තුරු සිංහලයට ව්‍යාකරණයක් නොතිබීමය. ‘සීහළසද්දලක්ඛණ’ යනුවෙන් පොතක් ගැන සඳහන් වෙතත් අදටත් අපට හමු වී තිබෙන පැරණිම සිංහල ව්‍යාකරණග්‍රන්ථය ‘සිදත්සඟරාව’ය. එම කෘතිය ලියා ඇත්තේ ‘වීරසෝළියම්’ යන දෙමළ ව්‍යාකරණග්‍රන්ථයත් බ්‍රාහ්මණ නෛයායිකයන් ‘තාත්පර්ය’ සංකල්පය උදෙසා ලියූ විවරණත් පාදක කොට ගෙනය. (විශේෂයෙන්ම කේෂවමිත්‍රගේ ‘භාෂාපරිච්ඡේද’). සිංහලව්‍යාකරණයට පෙර ලංකාවේ ලියැවුණේ පාලිව්‍යාකරණයය. එහිදී ගුරුකුල දෙකක් කච්චායන සහ මොග්ගල්ලායන ලෙස ඇති වූ අතර කච්චායනය ලීවේ පාණිනීගේ අෂ්ටාධ්‍යායීය ගුරු කොට ගෙනය. මොග්ගල්ලායනය ලීවේ චාන්ද්‍රගෝමීන්ගේ චාන්ද්‍රව්‍යාකරණය ගුරු කොට ගෙනය. (සද්දනීති යනුවෙන් තවත් සම්ප්‍රදායයක් තිබූ අතර මා විශ්වාස කරන පරිදි අපේ රටට ආවේණික බොහෝ ව්‍යාකරණ ලක්ෂණ මෙහි තිබුණි. එහෙත් අවාසනාවට මෙය දැන් අප භාවිත නොකරන අතර මියන්මාරයේ භාවිත වේ). මේ ආකාරයට මෙරට බිහි වූ සියලු ව්‍යාකරණ සම්ප්‍රදායයන් තුළ තිබුණේ භාරතීය අග්මුල්ය. ලංකාවේ ව්‍යාකරණකරුවන් තම ව්‍යාකරණ කෘති ලිවීමේදී කළ බරපතළ වරදක් නම් තමන් ආභාසය ලැබූ භාරතීය සම්ප්‍රදායය අඩුවැඩි වශයෙන් අවිචාරයෙන් තම කෘති තුළට බහාලීමය. මේ නිසා සිංහලභාෂාව සම්බන්ධයෙන් පැන නඟින බොහෝ අක්ෂරවින්‍යාස නීති ඒ ඒ කර්තෘවරුන් විසින් තමන් අභාසය ලැබූ ගුරුකුලයට අදාළව කෘත්‍රිමව ඇති කළ ඒවාය. මේ නිසා, අප අද විධිමත් ලෙස සකස් කර ගෙන සිටින භාෂා ආකෘතියේ බොහෝ තැන්වල න ණ ල ළ ලියන්නේ කියැවෙන නිසා නොව එසේ නොලීවොත් අරුත් වෙනස් වන නිසාය. අරුත් වෙනස් වන්නේ භාරතීය භාෂාවල බලපෑම නිසාය.

බර්ට්‍රම් ජී. ලියනගේ

 

පසු සටහන 

මා පෙන්වා දෙන යූ නැම්ම ආරම්භ වන්නේ ගුප්ත යුගයෙන් බව කවුරුත් පිළිගන්න කාරණයක්. මේ ගුප්ත යුගයේදී සෙල් ලිපි පවා සංස්කෘතයෙන් ලියන්න පටන් ගෙන තිබුණා. ලංකාවට සංස්කෘත ආභාසය මුලින්ම ලැබෙන්නේ මේ කාලයේ තමා. දැනටත් ලංකාවේ හමු වී ඇති මුල්ම පොත් – වෛද්ය සාරාර්ථක සංග්රහ, ජානකීහරණ මහාකාව්ය – සංස්කෘතයෙන් ලියවුණු පොත්. අදාළ වෙන්නේ ඉන්දියාවේ ගුප්ත අධිරාජ්ය පැවැති යුගයට. ඒ්ත් මේවා හුදකලා සිදුවීම් ලෙස ගණනය කරන්නට වෙන්නේ ඒ්වායේ අඛණ්ඩව පැවැත්ම ගැන තොරතුරු නැති නිසා. දෙවැනි වරට ලංකාවට සංස්කෘත එන්නේ වජ්රයාන බුදුසමය මෙරටට හඳුන්වා දුන් බෙංගාලි ජාතික (සමන්තභද්ර) හිමි නම නිසා. ඒ පාල රාජවංශය පැවැති කාලයේ. එවරද සංස්කෘත ආභාසය වජ්රයානය හා බැඳුණු ඇදහිලි පුද පූජාවලට නැඹුරු වී තිබුණා. මේ සිදු වීම් දෙකම නෙවේ ලංකාවේ සිංහලභාෂාවට බලපෑම් කළේ.

ගුප්ත අධිරාජ්ය මූලික වශයෙන් උතුරු ඉන්දියාවේ ව්යාප්ත වූවක්. ඒම යුගයේදී ඇති කළ සංස්කෘත ප්රබෝධය පුපුරා යන්නේ තවත් සියවස් කීපයක් යන විට. ගුප්ත අධිරාජ්යයෙන් පසුව එන හර්ෂවර්ධනගේ කාලයේත් ඉනුත් ඔබ්බෙහි තමා දකුණු ඉන්දීය ජාතිකයන් තම පොත පත සංස්කෘතයෙන් ලියන්න පටන් ගන්නේ. මුලදී දෙමළෙන් ලියා තිබූ පුරාණ ග්රන්ථ සංස්කෘතයෙන් ලියැවෙන්නේත්, මහාරාෂ්ට්රී, සෞරසේනී යන භාෂාවලින් තිබුණු ජෛන භාෂ්ය සංස්කෘතයෙන් ලියන්නේත්, මුලදී තමිල්නාඩුව කේන්ද්ර කොට ගෙන හුදු දෙමළෙන් පමණක් තිබූ සෞත්රාන්තික බුදුදහම සංස්කෘතයෙන් ලියන්නේත් මේ කාලයේදී. මෙන්න මේ කාලය තමා ඇත්තටම ලංකාවට බලපෑම් කළේ. නැතිව ඍජුව ගුප්ත යුගය නෙවේ. ජේතවනාරාම සෙල් ලිපිය වැනි සංස්කෘත සෙල්ලිපි අපි ද ලියන්නට පෙළඹුණේ ඒ් අනුව. මුලදී මා කියූ ගුප්ත යුගයේ බලපෑමෙන් පොලොන්නරු යුගයේදී අපේ භාෂාව වෙනස් වීම යන අදහස මෙලෙස  නිරවුල් කිරීමට කැමැත්තෙමි.

In : බස

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)