මට නීරස දෙයක් මම කවදාවත් පාඨකයාට දෙන්නෙ නැහැ
ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස් විසින් රචිත නවතම ගවේෂණාත්මක නවකතාව ‘මොනර කුටුම්බය’ ඉකුත් පෙබරවාරි 03 වැනිදා මරදාන ගොඩගේ පොත් මැදුරේදී එළිදැක්විණ. ගවේෂණාත්මක කෘති 9ක් ඇතුළු කෘති 10ක් ප්‍රකාශයට පත්කර ඇති අනුර හොරේෂස්ගේ 11 වැනි කෘතිය වන්නේ මෙම නවකතාවයි. වර්ෂ 1997 දී ඔහු විසින් ප්‍රකාශයට පත්කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කෘතිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයෙන් 1998 වසරේදී සිනමාවට නැඟුණු අතර මේ වන විට ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතියි. සිය ලේඛන දිවිය සහ අලුත්ම නවකතාව ‘මොනර කුටුම්බය’ පිළිබඳ ප්‍රවීණ ලේඛක අනුර හොරේෂස් සමඟ කළ සාකච්ඡාවකි, මෙය.
ගත් කතුවරයකු වීමට පෙර ඔබ පුවත්පත් කලාවේදියෙක්. ඒ අතීතය සිහි කරනවා නම්?
පාසල් වියේ සිටම ලේඛනය පිළිබඳ මගේ කැමැත්තක් තිබුණා. මගේ ඥාතියකු සහ ප්‍රසිද්ධ නිදහස් මාධ්‍යවේදියකු වූ කේ.පී. සමරරත්න මෙන්ම ප්‍රසිද්ධ නිදහස් මාධ්‍යවේදියකු වූ මෝදර සී.එච්. සිරිමල් පීරිස් ඒ පිළිබඳ දැනගෙන සිටි නිසා ඔවුන් මට අත දෙන්නට නොපැකිළව ඉදිරිපත් වුණා. අධ්‍යාපන කටයුතු නිමවීමෙන් පසු 1978 දී පමණ සී.එච්. සිරිමල් පීරිස් මහතා මාව දවස නිවස කාර්යාලයට කැඳවාගෙන ගොස් ‘ප්‍රියාවි’ පුවත්පතේ එවකට ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ විමලේන්ද්‍ර වතුරේගමට මාව හඳුන්වා දුන්නා. ඒ කාලයේ මාධ්‍ය ආයතන තිබුණේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන් වගේම ඒවයේ කටයුතු කළෙත් ඉතාම ජනප්‍රිය ප්‍රවීණ පුවත්පත් කලාවේදීන්. ඒ නිසා ආධුනිකයෙකුට අවස්ථාවක් ලැබුණේ කලාතුරකින්. නමුත් ප්‍රවීණයන්ගේ ආභාසය ලබමින් ක්‍රමානුකූලව ගොඩ නැඟෙන්නට මට අවස්ථාව ලැබුණු අතර ඒ සඳහා ශ්‍රියා රත්නකාර, අනුල ද සිල්වා, පර්සි ජයමාන්න ආදී ජ්‍යෙෂ්ඨයන් මට විශාල සහයෝගයක් දුන්නා.
අනුර හොරේෂස් නම් පුවත්පත් කලාවේදියා උපත ලබන්නේත් එවැනි කතෘවරයෙක් නිසා නේද?
1979දී විතර ‘ඉරිදා’ නමැති ටැබ්ලොයිඩ් පුවත්පතට සම්බන්ධ වෙද්දි පුවත්පත්වල මගෙ නම පළවුණේ එම්. අනුර.එච්. පීරිස් ලෙසටයි. ඉරිදා ටැබ්ලොයිඩ් පුවත්පතේ කීර්තිමත් කතුවරයා වූ කිත්සිරි නිමල් ශාන්ත මට කතා කරලා මගේ සම්පූර්ණ නම් ඇහුවා. ඊට පස්සේ එතුමා මට කිව්වා, “අනුර මේ නමින් ඔයාට කවදාවත් ඉදිරියට යන්න බෑ. අද ඉඳන් ඔයා අනුර හොරේෂස්, මේක ඔයාගේ අනාගතය බබලවන්න පුළුවන් ලස්සන නමක්” කියලා. එදා ඉඳන් මම ලිව්වෙ ඒ නමින්. පසු කලෙක එවකට පළවූ සත්දින පුවත්තේ කතුවරයා වූ ගුණදාස ලියනගේ, චන්ද්‍රසේන කිරිවත්තුඩුව ආදීන් මගේ පුවත්පත් කලා ජීවිතයට ලොකු ශක්තියක් වුණා. අනුර සොලමන්ස්, ජයන්ත චන්ද්‍රසිරි පසුකාලීනව මා සමඟ එකට වැඩ කළ සගයන්. 1983දී දිවයින ‘දිවයින’ දිනපතා පුවත්පත ආරම්භ කරද්දි ආධුනිකයකු ලෙස එම කතෘ මණ්ඩලයට එක්වන්නට මට අවස්ථාව ලැබුණා. එහිදී අපට විවිධ වගකීම් පැවරුණත් ඉරිදා පුවත්පතේ කිත්සිරි නිමල් ශාන්ත මහත්මයාගෙන් ලැබුණු ආභාසය නිසා යම්කිසි පුවතක සැඟවුණු තොරතුරු සොයායෑමේ විශාල උනන්දුවක් මා තුළ තිබුණා. ‘පාතාල ලෝකයෙන් බිඳක්’ කියන ආන්දෝලනාත්මක ලිපි පෙළ මා අතින් ලියැවෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදිහටයි.
ඊට පසුබිම් වන්නේත් එක්තරා ප්‍රවෘත්තියක්?
ඔව්; දිවයින කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා කර්තෘ මණ්ඩල රැස්වීමකදී ඇහුවා, ඊට කලින් දවසේ රාත්‍රියේ කොම්පඤ්ඤ වීදියේ තිබුණු අඳුරු ජීවිතයක් ගතකරපු පුද්ගලයකුගේ මළගමට රටේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයෙක් ඇවිත් ගිහින් තියෙනවා, ඒ ගැන හොයල ලියන්න පුළුවන් කාටද කියලා. ඒ කාලේ රටේ තිබුණු රහසිගත භීෂණ තත්ත්වය තුළ ප්‍රධාන පෙළේ පුවත්පත් කලාවේදීන් කිහිප දෙනකුට පවා මරණ තර්ජන ඇතිවෙලා තිබුණා. ඒ නිසා කවුරුවත් ඒ ගැන ලියන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙලාවේ මා අසලම සිටි චන්ද්‍රසිරි කටුදෙනිය නම් පුවත්පත් සගයා එකපාරටම රණසිංහ මහත්තයට කිව්වා, සර් අනුර හොරේෂස් මේ වැඩේට හොඳයි කියලා. එතකොට රණසිංහ මහත්තයා මගෙන් ඇහුවා, අයිසෙ තමුසෙට පුළුවන්ද මේ වැඩේ කරන්න කියලා. ඒකට හේතුව ඒ වෙද්දි මම ආධුනිකයෙක් විදිහට පුවත්පතට බැඳිලා වැඩි කාලයක් ගතවෙලා තිබුණේ නැති නිසා, ඒ විදිහෙ අභියෝගයක් භාර ගන්න මට පුළුවන්ද කියන සැකය එතුමා තුළ තිබෙන්නට ඇති. ඒ සිද්ධිය සම්බන්ධ කිසිම දෙයක් නොදැන වුණත් මම කිසිදු පැකිළීමකින් තොරව ඒ අභියෝගය භාර අරගෙන එතැන් සිට ඒ ගැන ගවේෂණය කරන්න පාරට බැස්සා. ඒ පාරට බැසීම කොයිතරම් තියුණු වුණාද කිව්වොත් එක ලිපියක් වෙනුවට අවුරුද්දකට ආසන්න කාලයක් පාතාල ලෝකයෙන් බිඳක් කියලා ලිපි පෙළක්ම සතිපතා කොටස් වශයෙන් පළවුණා.
එඩ්මන්ඩ් රණසිංහ කතෘතුමාගෙන් වගේම දයාසේන ගුණසිංහ යන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන්ගෙන් මට ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. ඒ ලිපි පෙළ අතිශයින් ජනප්‍රිය වුණා වගේම ඒ ලිපි පෙළ ලියන්නෙ කවුද කියලත් ජනතාව හොයන්න පටන් ගත්තා. ගොඩක් අය හිතුවෙ කවුරු හරි අන්වර්තිත නමකින් ලියනවා මිස අනුර හොරේෂස් කියලා කෙනෙක් ඇත්තටම නැහැ කියලයි. මේ ලිපි මාලාව කෘතියක් විදිහට පළකරන්න මගේ අදහසක් තිබුණත් ඒ වෙද්දි රටේ තිබුණු භීෂණ තත්ත්වය නිසා එහෙම පොතක් ප්‍රකාශයට පත් කරන්න කිසිම ප්‍රකාශකයෙක් කැමති වුණේ නැහැ. එවැනි පසුබිමක 1996දී ගොඩගේ ප්‍රකාශන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ පොත ප්‍රකාශයට පත්කරන්න ඉදිරිපත් වුණා වගේම සතියක් ඇතුළත පොතේ පළමු මුද්‍රණය අවසන් වුණාම එතුමා මට කතාකරලා කිව්වා පොත හොඳට විකිණෙනවා, මෙතැන ඉඳලා ඔයා මේ පොතේ ප්‍රකාශයා විදිහට පොත මුද්‍රණය කරගන්න කියලා. මම හිතන්නෙ නෑ කිසිම ප්‍රකාශකයෙක් එතරම් පරිත්‍යාගශීලී වෙයි කියලා.
ඔබේ අලුත්ම කෘතිය ‘මොනර කුටුම්බය’ත් ගවේෂණාත්මක නවකතාවක්?
මේ නවකතාවට වස්තු බීජය කරගත් සංවේදී කාරණාව මෙතෙක් මේ රටේ බිහිවූ කිසිදු නිර්මාණයකට පාදක වී නැති බව මගේ විශ්වාසයයි. මෙතෙක් කිසිදු නිර්මාණකරුවකු ගැඹුරින් ස්පර්ශ නොකළ වස්තු බීජයක් පිළිබඳ පුළුල් ගවේෂණයක් කරමින් මේ නවකතාව ලියන්නට මට වසර එකහමාරක පමණ කාලයක් ගතවුණා.
වර්තමානයේ නවකතා විශාල වශයෙන් එළිදකිනවා. එවැනි නවකතා අතර මෙවැනි ගවේෂණාත්මක නවකතාවක් පාඨකයා වැලඳගනී කියලා ඔබට විශ්වාසයිද?
නවකතාවක් යනු නවතාවයකින් පිරුණු ඉතා රසවත් කතාවක් විය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. අද පළවන බොහෝ නවකතා තුළ තිබෙන්නේ පොදු මාතෘකා. මම උත්සාහ කළේ ඒ පොදු මාතෘකාවලින් බැහැර වෙලා වෙනස් අත්දැකීමක් පාඨකයාට ලබා දෙන්නයි. ඒ සඳහා මොනර කුටුම්බය නවකතාව සාහිත්‍යමය ලෙසින් පෙළ ගස්වමින් එයට සිනමාත්මක මුහුණුවරක් දෙන්නටත් මම උත්සාහ කළා. එහිදී රූප,අංග, දෙබස්, කලා, වේශ නිරූපණ ආදී සිනමාවේ වැදගත් අංග කෙරෙහි මගේ අවධානය යොමු වුණා. ඒ නිසාම සාහිත්‍යමය සිනමාව ගැන උනන්දුවක් දක්වන මෙරට විචාරක, ප්‍රේක්ෂක හා පාඨකයන්ගේ අවධානය මේ නවකතාව කෙරෙහි විශේෂයෙන් යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාම මගේ නවකතාවේ අවසන් පිටුව දක්වා පාඨකයා කියවලා නිම කරන්නේ විත්‍රපට ශාලාවකට ගොස් චිත්‍රපටයක් නරඹලා බොහොම සතුටින් අසුනින් නැඟිටලා එන තෘප්තිමත් ප්‍රේක්ෂකයෙක් විදිහටයි. මම එහෙම කියන්නේ විශ්වාසයක් ඇතිවයි. මම ලියන නවකතාවක් මුලින්ම රස විඳින්නෙ මමමයි. මා ලියූ දෙයක රසවත් බවක් මගේ හදවතේ නහරවලට දැනෙන්නෙ නැත්නම් මම එය නැවත නැවතත් ලියනවා. පුවත්පත් කලාවේදියකුව සිටියදීත් මම අනුගමනය කළේ ඒ ක්‍රමයමයි. මම ලියන හැමදේකම පළමු රසවතා වන්නේ මමයි. මට නීරස යමක් මම කවදාවත් පාඨකයාට දෙන්නෙ නැහැ.
නවකතාකරුවකු සතු සමාජ වගකීම ගැනත් ඔබ විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා?
නිසැකවම මම මගේ සමාජ වගකීම ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත්. මොනර කුටුම්බයෙන් කියැවෙන්නේ නූතන සමාජය මුහුණ දී සිටින ඉතාම සංවේදී ප්‍රශ්නයක්. ඒ සංවේදී ප්‍රශ්නය සහ ඊට හේතුව සොයාගන්න මට හැකිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ නවකතාවේ අවසානයේදී පාඨකයාට යම් ප්‍රදානයක් පිළිගැන්වීමටත් මට හැකිවුණා. එය තමයි, ඔබ යම්කිසි පියවරක් තබන්න හිතනවා නම් ඒ ගැන දෙවරක් සිතන්න, ඔබ මේ සංවේදී ප්‍රශ්නයේ ගොදුරක් බවට පත්විය යුතු නැහැ කියන පණිවිඩය. ඒ නිසා මේ නවකතාව මවක්, පියෙක්, බිරියක්, සැමියෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් වගේම වයෝවෘද්ධ අයකු පවා කියවිය යුතු ජීවිතය ගැන අත්පොතක් වැනි නවකතාවක්.
‘මොනර කුටුම්බය’ නිර්මාණ කාර්ය සඳහා සහාය වූවන් ගැනත් ඔබට කියන්නට යමක් ඇති?
මම 1998 සිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන එහි පුරවැසියෙක්. නමුත් මම එහි සිට කරන සෑම නිර්මාණ කාර්යයකටම මෙරට මාධ්‍යවේදි මිතුරන්ගෙන් විශාල අනුග්‍රහයක් ලැබෙනවා. ඒ වගේම සියලුම පුවත්පත් කතුවරුන්, ජනමාධ්‍යවේදීන්, විද්‍යුත් නාළිකා සහ යූටියුබ් නාළිකාවල සහ මුහුණුපොතේ සහෘදයන් ඇතුළු සියලුදෙනා මේ වෙනුවෙන් දෙන සහයෝගය වෙනුවෙන් මගේ ආදරය පුද කරනවා. ඒ වගේම එදාමෙදා තුර මගේ නිර්මාණ ජීවිතයට දිරිදෙන සෙවණැල්ල බඳු ආදරණීය බිරිය ඉන්ද්‍රාණිටත් දියණියන් දෙදෙනාටත් මගේ නිර්මාණ රස විඳින දයාබර පාඨකයන්ටත් මගේ ආදරණීය ස්තුතියත් ගෞරවයත් පිරිනමනවා.
මොනර කුටුම්බයට ලැබෙන ප්‍රතිචාර සහ ඔබේ ඉදිරි නිර්මාණ සැලසුම් ගැන කියනවා නම්?
දැනටමත් චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකුගේ අවධානය ඒ පිළිබඳ යොමුවී තිබෙනවා. මගේ නිර්මාණයක් චිත්‍රපටයක් විදිහට ඉදිරිපත් වීම ජනතා මෙහෙවරක් ලෙස මම සලකනවා. මේ දිනවල ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’ චිත්‍රපටයේ රූගතකිරීම්වලට සහභාගි වෙනවා. මෙරට ගතකරන කෙටි නිවාඩුවේදී මගේ ඊළඟ කෘතිය වෙනුවෙන් මෙරට සිදුවූ ඉතාම අනුවේදනීය සිදුවීමක තොරතුරු එක්රැස් කරගනිමින් සිටිනවා.
වජිර ලියනගේ
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)