පරිපූර්ණ නවකතාවක් කියන්නෙ සංකීර්ණ මානව සබඳතා විග්‍රහයක් – චූලාභය ශාන්ත කුමාර හේරත් (Silumina.lk)

No Comment 21 Views

24 12:30 am 0 comment

මල් ශාලාවක එම්බාම්කරුවකුගේ දෑත විෂබීජ නාශනයට පෙර ඔබට දයාර්ද්‍ර ව අල්ලන්නට හැකිද? පිළිතුරක් දීමට මඳක් කල් ගන්නා ඔබට මම මෙසේ පවසමි. දැන් මට එවැනි අත්ලක් ආදරයෙන් අල්ලා ගන්නට පුළුවන්. ඔබ ‘දැන්’ කියන්නේ ඇයි? ඔබ අසනු නිසැකය. ප්‍රේම සූත්‍ර නවකතාව කියවා අවසන් වූ ඇසිල්ලේ සිට මට ඒ දෙඅත් ආදරයෙන් අල්ලන්නට පුළුවන්….

මට ඔබට දෙන්න ඇති පිළිතුර එයයි

නිර්මාණකරුවන් සමාජය වෙනස් කිරීමේ ප්‍රවේශ විවර කරන්නේ එලෙසිනි.

ප්‍රේම සූත්‍ර ලියන්නේ චූලාභය ශාන්ත කුමාර හේරත් ය. අසීමිත මානව දයාවක්, සහකම්පිත හදවතක්, ජාති ආගම් කුලමල ගැටලු නිසා පීඩිත මිනිස් සම්බන්ධතා ජාලයක්, අනන්‍යතාව ගැන වන සංකීර්ණ එළැඹුමක් සහිත නවකතාවක් සේ ප්‍රේම සූත්‍ර හැඳින්විය හැකිය.

ගුවන් විදුලි සන්නිවේදකයකු ලෙස ශ්‍රාවක දන මන එකල පොහොණි කළ චූලාභය දැන් අප හමුවේ සිටින්නේ නිර්මාණකරුවකු ලෙසිනි. දැනට වසර 10කට පෙර විසිපස් වැනි තට්ටුව කෙටිකතා සංග්‍රහය ලියමින් ලේඛන නිර්මාණ දිවියට එළැඹෙන ඔහු ඉන් අනතුරුව නවකතා 5ක් හා කෙටිකතා සංග්‍රහයක්පාඨකගත කරන්නේය. මේ ඔහුගේ නිර්මාණ දිවියත් නව නිර්මාණ එළැඹුම වන ප්‍රේම සූත්‍ර නවකතාවත් පිළිබඳ කෙරුණු සංලාපයෙක සංක්ෂිප්තයකි.

ප්‍රේමයේ නිදහස, ජීවත් වීමේ නිදහස, පැවැත්මේ නිදහස කොහොමද ඔබ අර්ථකථනය කර ගන්නෙ?

නිදහස කියන වචනයේ තේරුම තරමක් සංකීර්ණයි. ස්වාධීනත්වය,ස්වාධිපත්‍යය, සීමා බැඳීම්වලින් තොරවීම ඉන් අර්ථ ගැන්වෙනවා. ප්‍රේමයේදී, ජීවත්වීමේදී සහ පැවැත්මේදී ‘නිදහස’ අපි අර්ථ ගන්වන්නෙ කොහොමද? මිනිසා නිරන්තරයෙන්ම සමාජ සත්වයෙක්. සමාජයක ජීවත් වෙද්දී අපට ජීවිතය තවත් අය සමඟ බෙදා ගන්නට සිදු වෙනවා. සමාජයට අනුගත වෙන්න සිදු වෙනවා. අප අවට සිදුවන හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. සීමා, බැඳීම්, පවුරු පදනම් ඇති වෙන්නෙ එතකොට. සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණු කාරණාත් මේ සඳහා බලපෑම් කරනු ලබනවා. මානසික ව හෝ සාමාජීය වශයෙන් අපරිමිත නිදහසක් භුක්ති විඳින්න තියෙන ඉඩ එතෙන්දි ඇහිරෙනවා. ප්‍රේමයේදී, ජීවත්වීමේදී සහ පැවැත්මේ දී අපට නිදහස අර්ථකථනය කරන්න සිද්ධ වෙන්නෙ අන්න ඒ සීමාව ඇතුළෙ ඉඳගෙන. ප්‍රේමය කියන්නෙම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට අනුගත වෙමින් හුවමාරු කරගත යුතු දෙයක්. එතනදි සීමා පැනවෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා අප ප්‍රාර්ථනා කරන නිදහස ඒ ආකාරයෙන්ම මානසිකව හෝ සාමාජීය වශයෙන් අපට භුක්ති විඳින්න හැටියක් නැහැ. එය තීරණය කරන්නෙ පවතින වටපිටාව. ඒ අනුව අපිට අනුවර්තනය වෙන්න, සංස්කරණය වෙන්න සිද්ධ වෙනවා. ජීවත්වීමේදී සහ පැවැත්මේදීත් එහෙමමයි. ජීවිතය කියන්නෙ අපි ප්‍රාර්ථනා කරන දේ නොවෙයි; අපිට ලැබෙන දේ.

ලියන්නෙ සංස්කෘතික වෙනසක් හෝ සාධාරණත්වයක් වෙනුවෙන් ද? මා, චක්‍රවර්ති, වගේම අලුත් ම නවකතාව ප්‍රේම සූත්‍රත් ඒ වෙනුවෙන් පෙළ ගැහෙනවා.

එහෙම එල්ලයක්, ඉලක්කයක් මට නැහැ. මම හිතන්නෙ ඒක ලේඛකයකුගෙ කාර්ය භාරයත් නොවෙයි. මට දැනෙන දේ, මට හිතෙන දේ මම ලියනවා. ඒ හැමදෙයක්ම මාව කිසියම් ආකාරයක කම්පනයට ලක් කළ දේවල්. මගේ හිත අස්සෙ කැරලි ගහන දේවල්. මගේ පරිකල්පනයත් එක්ක ගොඩනැඟුණු දේවල්. මට ඒවා කාටහරි කියන්න ඕනෑ. ඒ නිසා මම ලියනවා. මම සාධාරණ සමාජයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. හරවත් සංස්කෘතික වටපිටාවක් අපේක්ෂා කරන කෙනෙක්. ඉතින් මම ලියන දේවල් ඇතුළෙ ඒවා ඉස්මතු වෙනවා.

මේ සියලු නවකතා ඇතුළෙ ඔබ සංකීර්ණ මානව සම්බන්ධතා විග්‍රහ කිරීමක්, ඒවායේ වන සියුම් ලක්ෂණ තම නවකතාවේ චරිත විග්‍රහ ඇතුළට එකතු කිරීමක් කරනවා…

නවකතාවක් කියන්නෙ හුදු සිද්ධිදාමයක් කතාන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් පමණක් ම නොවේ. එය ඉතා සියුම් ව අවස්ථා, චරිත සහ මානව සබඳතා විග්‍රහ කිරීමක් සහිත ප්‍රබන්ධයක් විය යුතු යැයි මා විශ්වාස කරනවා. එහි කිසියම් තර්කයක් තිබිය යුතුයි; ගැඹුරක් තිබිය යුතුයි; හේතු ඵල සම්බන්ධතාවක් තිබිය යුතුයි; විශ්වසනීයත්වය රැකිය යුතුයි; පාඨකයාගේ පරිකල්පනය දැල්විය යුතුයි. කතාන්දරය ඉක්මවා ගිය අපූර්ව යමක් එහි තිබිය යුතුයි. නවකතාවක් සැලසුම් කිරීමේදී මා ඒ කාරණා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. පරිපූර්ණ නවකතාවක් ගොඩ නැඟෙන්නෙ සංකීර්ණ මානව සබඳතා සියුම්ව විග්‍රහ කිරීමෙන්.

පෙරහැරේ ලස්සන වගේ ම අඩුපාඩුත් පේන්නෙ ඈතින් ඉඳන් බලන කෙනාටනෙ. නවකතාකරුවා චරිත දිහා බලන්නෙත් ඒ ආකාරයට ද?

අනිවාර්යයෙන්. මොකද ඈතින් ඉඳන් බලන් ඉඳිද්දි ගොඩක් දේවල් පේනවා. ඒ වගේම පෙරහැරේ යන අයට පේනවට වඩා වැඩි දේවල් බලන් ඉන්න අයට පේනවා; දැනෙනවා. ඒ අයගෙ විශේෂතා වෙන වෙනම සිතේ අධ්‍යයනය වෙනවා.

නවකතාවක් ලියන්න කලින් ගොඩනඟන හැම චරිතයක් සමඟම මම තනියම ඇසුරු කරනවා; කතාබහ කරනවා; තර්ක කරනවා; වාද කරනවා; රණ්ඩු වෙනවා; ගමන් යනවා; ප්‍රේම කරනවා. ඒක බොහොම සියුම් හඳුනා ගැනීමක්. මම චරිතය ගොඩනඟන්නෙ ඒ හඳුනා ගැනීමෙන් පස්සෙ. එතකොට ඒ චරිතය මගේ ප්‍රබන්ධයට ගැළපෙන ආකාරයට හැඩ ගැහිලා. සංකීර්ණ මානව සබඳතා විග්‍රහ කරන්න පුළුවන් වෙන්නෙ චරිත හොඳට හඳුනා ගත්තට පස්සෙ. ඉතා සියුම් කරුණු ගැන පවා වැඩි අවධානයක් යොමු කරන්න මා උත්සාහ කරනවා. පාඨකයා තුළ මැවෙන චිත්ත රූප නිරවුල් වෙන්නෙ එතකොට.

යුද සමය වගේම පශ්චාත් යුද සමයත් ඔබට බොහෝ සංවේදනා දනවන බවක් පේනවා…

මෑත දශක හතරක පහක යුද මතක අප සතුව තියනවා. හැත්තෑ එකේ කැරැල්ල පිළිබඳව තිබෙන්නෙ අවුරුදු දහයක දරුවකුගෙ මතක. යුද්ධයක්ම නොවුණත් ආයුධ, හමුදාව, බෝම්බ වගේ දේවල් ගැන මුලින්ම ඇහුවෙ, දැක්කෙ ඒ කාලෙ. 83 ජූලි කලබල ඇහෙන් දැක්කා; අත්වින්දා. අසූ ගණන්වල අග දකුණේ භීෂණය හොඳට මතකයි. දශක තුනකට වැඩි කාලයක් යුද්ධය අපේ ජීවිතවලටත් තදින් බලපෑවා. ගුවන් විදුලි සන්නිවේදකයෙක් ලෙසින් උතුරේ යුද බිම් ආශ්‍රිත ප්‍රදේශවල වැඩ කරන්නත් සිදු වුණා. ඒ පිළිබඳව බොහෝ කුරිරු සහ සංවේදී අත්දැකීම් මා සතුයි. ඒත් යුද්ධය නිසා ගිලිහුණු සහ බිඳුණු මානව සබඳතා අපි හරියටම දැක්කෙ පශ්චාත් යුද සමයෙ කියලයි මට හිතෙන්නෙ. යුද්ධය අවසන් වුණත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල තවත් පරම්පරා ගණනාවක් යනතුරුම අත්විඳිනවා. යුද්ධය හැමදාමත් මිනිස්සුන්ට ගෙනැවිත් දුන්නෙ පරාජය විතරයි. මම ජාතිවාදය, වර්ග වාදය, ආගම් වාදය සහ යුද්ධය ප්‍රතික්ෂේප කරන කෙනෙක්.

මා නවකතාව ලියැවෙන්නෙ ඒ යුගය පසුබිම් කරගෙන. ප්‍රේම සූත්‍ර නවකතාවටත් යුද්ධය සහ පශ්චාත් යුද සමය සම්බන්ධයි. මායිම් ගම්මාන හෙවත් තර්ජිත ගම්මානවල ජීවත් වූ මිනිසුන් විසින් මෙන්ම යුද බිමේ සිටි සෙබලුන් විසින් වරින් වර මසිතේ ඇති කරන ලද කම්පන මා සහ ප්‍රේම සූත්‍ර නවකතා දෙක සඳහා පාදක කරගත්තා. හැබැයි මා සහ ප්‍රේම සූත්‍ර කියන්නෙ තනිකරම යුද්ධය පසුබිම් කරගත් නවකතා නොවෙයි.

නවකතාවකට කියන විදිහ නැත්නම් ආඛ්‍යානය ගොඩ නඟන විදිහ කොයිතරම් වැදගත් ද?

නවකතාව රඳා පවතින්නේ එහි භාෂා ආඛ්‍යානය මත. ඒකෙන් තමයි නවකතාවකට හැඩයක් එන්නෙ. ඒක නිකම්ම නිකම් මුලක්, මැදක්, අගක් තියෙන කතාවක් කීමක් ම නෙවෙයි. පාඨකයා නවකතාවෙන් ගිළිහෙන්නට නොදී ආකර්ෂණය කරගත හැකි ආකාරයට කතාව ගලා යා යුතුයි. පාඨකයා සහ නවකතාකරුවා යාවෙන්නෙ නවකතාවේ ආඛ්‍යානය මතයි. නවකතාව සහ පාඨකයා අතර සංවාදය ගොඩනැඟෙන්නෙ එතනින්. නවකතාවක් නිර්මාණය කිරීමේදී අසීරුම කටයුත්ත තමයි එහි තේමාවට ගැළපෙන ආකාරයේ භාෂා රටාවක් සහ ආඛ්‍යානයක් තෝරා ගැනීම. එය ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තක්. ඒ සඳහා විවිධ ආකෘති පිළිබඳ හැදෑරීම් අවශ්‍යයි.

ඔබ භාෂාව පරිහරණය කරන්නෙ මහත් ලෝබකමකින්. සමහර විට දීර්ඝ කාලයක් ඔබ ගුවන්විදුලි සන්නිවේදකයෙක් වීමත් ඊට බලපානවා ඇති. සංස්කරණය, කෙටි වැකි, ගැඹුරු දෑ සරල ව ලිවීම යනාදිය නවකතාවකට කොයි තරම් වැදගත් ද?

ලේඛකයාගේ ප්‍රකාශන මාධ්‍යය තමයි භාෂාව. මගේ ප්‍රකාශනය වඩාත් නිවැරදිව නිරවුල්ව නිර්මාණාත්මකව පාඨක ප්‍රජාව වෙත ගෙන යෑම තමයි මගේ යුතුකම. නවකතාවක භාෂාව නිර්මාණාත්මක විය යුතුයි. එය අපූර්ව විය යුතුයි. අවශ්‍ය තැනට අවශ්‍ය ම වචන වඩාත් ගැළපෙන ආකාරයට, කිසියම් තානයකට අනුව යොදා ගනීම ගැන මා වඩාත් සැලකිලිමත් වෙනවා. ගුවන් විදුලි භාෂාව සහ නවකතා භාෂාව කියන්නේ දෙකක්. ඒත් යමක් නිවැරදිව ප්‍රකාශ කිරීමේදී ගුවන් විදුලි මූලධර්ම ඉතා වැදගත්. අනවශ්‍ය විස්තර කිරීම් සහ වචන පාඨකයා වෙහෙසට පත් කරන්නක්. සරල වුවත් එහි යම් ගැඹුරක්, යටිපෙළක් තිබිය යුතුයි. ගුවන් විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක්. ගුවන් විදුලියට ලිවීමේදී පාඨක මනසේ චිත්ත රූප මැවෙන ආකාරයට ලිවීම අවශ්‍යයි. නවකතා රචනයෙදීත් මා මේ මූල ධර්මය ගුරු කොට ගන්නවා. සංස්කරණය නවකතාවකට ඉතා අවශ්‍යයි. නැවත නැවත සංස්කරණය කිරීම නම් නිරන්තරයෙන්ම සිදුවන දෙයක්. ලියනවාට වඩා මා කාලය වැය කරන්නේ සංස්කරණයට.

මානව දයාව, සහකම්පනය, ඔබේ නවකතාවල පැහැදිලිව පෙනෙන ලක්ෂණ. ප්‍රේම සූත්‍ර නවකතාවේ මෙවැනි ලක්ෂණ බොහොමයි.

ප්‍රේම සූත්‍ර නවකතාව ගොඩනැඟෙන්නෙ ගෙවී ගිය දශක දෙක හමාරක විතර කාලය පසුබිම් කරගෙන. ඒ කාලය අපේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාවේ බොහෝ හැලහැප්පීම් තිබුණු සංකීර්ණ කාලයක්. තරුණ වියත් මැදිවියත් අතර හිඳිමිනුයි මා ඒ දෙස බලා සිටියේ. එහිදී මගේ අත්දැකීම් සහ නිරීක්ෂණ ප්‍රේම සූත්‍ර නිර්මාණයට මා පාදක කරගත්තා. මේ ලෝකය පවතින්නේ ප්‍රේමය මතයි. පවතින සමාජ වටපිටාව සමඟ ප්‍රේමයේ හැඩරුවත් වෙනස් වෙනවා. එහෙත් එය නොනැසී පවතිනවා. මානව දයාව කියන්නෙත් ප්‍රේමයේ ම ස්වභාවයක්. මොන තරම් හැලහැප්පීම් තිබුණත් මානව වර්ගයාගේ පැවැත්මේ සමබරතාව පවතින්නේ මානව දයාව මතයි. ඒ ඔස්සේ ඇතිවන සහකම්පනයෙන් තමයි මිනිසුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රේමය පතුරුවා හරින්නෙ. අපි හැමෝගෙම ජීවිතවල තේමාව තියෙන්නෙ එතන. ප්‍රේම සූත්‍ර කියන්නෙ බොහෝ හැලහැප්පීම් මත විවිධ සමාජ ව්‍යසනයන්ට ලක්වෙමින් අනන්‍යතා අර්බුදයකට මුහුණ දෙමින් ජීවිතය ජයගන්නට උත්සාහ කරන මිනිසුන්ගේ කතාවක්. සිහින් හුයකින් බැඳුණු ප්‍රේමය තමයි ඔවුන් ජීවත් කරන්නෙ.

නවකතාවකට පර්යේෂණ එළැඹුම කොයි තරම් වැදගත් ද? ප්‍රේම සූත්‍ර වෙනුවෙන් ඔබ මිනී එම්බාම් කලාව හදාරනවා. චක්‍රවර්තී වෙනුවෙන් ඉතිහාසය හදාරනවා…

ඒක ඉතා වැදගත්. ඩෑන් බ්‍රවුන් වැනි නවකතාකරුවන් සිය නිර්මාණ සඳහා අවශ්‍ය තොරුතුරු ගවේශනය කිරීම වෙනුවෙන් වෙනම පර්යේෂණ කණ්ඩායම් පවා යොදා ගන්නවා. නවකතාවක් සැලසුම් කිරීමේදී ඒ සඳහා පර්යේෂණ එළැඹුමක් අවශ්‍යයි. අපේ ප්‍රබන්ධයට සම්බන්ධ සියලු අංග පිළිබඳව නිවැරදි තොරතුරු සහ දත්ත අප සතුව තිබිය යුතුයි. චක්‍රවර්ති නවකතාව සඳහා ඊට පසුබිම් වූ ඉතිහාසය, කැරලි, ගම් නියම්ගම් සහ ප්‍රාදේශීය ජනවහර පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරන්නට සිදු වුණා.

ප්‍රේම සූත්‍ර නවකතාවේ තරුණයා සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගන්නේ මිනී එම්බාම් කිරීම. ඒ චරිතය ගොඩනඟද්දී මිනී එම්බාම් කිරීම පිළිබඳ හැදෑරීමක් කරන්න සිදු වුණා. ඒ වෘත්තියේ නියැළුණු කීප දෙනෙක් ඇසුරු කරමින් ඔවුන් සමඟ තොරතුරු බෙදා හදා ගනිමින් කළ අධ්‍යයනය මට අපූරු අත්දැකීමක් වුණා. මළ සිරුරක් සැකසීම වෙනම කලාවක්. එය බොහොම ගෞරවනීය වෘත්තියක්. වෙනම උප සංස්කෘතියත්. ප්‍රේම සූත්‍ර නවකතාවේ එන ඒ චරිතය පාඨකයන්ගෙ ආදරයට සහ ගෞරවයට ලක්වුණු චරිතයක් බවට පත්වීම සැබැවින්ම මට සතුටක්.

මට හිතෙනවා, දැනෙනවා ඔබ ලියන්නෙ ඔබ පීඩා විඳි සමාජ ක්‍රමයේ වන හැලහැප්පීම් ගැන වේදනාවෙන් කියලා. ලියලා ඉවර වුණාම සැනසීමක් දැනෙනවද ඔබට?

අවුරුදු ගාණක් තිස්සේ හිත ඇතුළෙ තියාගෙන ඉන්න දෙයක් එළියට දැම්මට පස්සෙ විශාල සැනසීමක් දැනෙනවා. ඒවගේම ඒක නිදහසක් සහ භාව විශෝධනයක්. ඒක ඇත්තට ම කියාගන්න බැරි තරම් හැඟීමක්. එහෙම ලියලා ඉවර වුණාට පස්සෙ කාලයක් යනකම් මුකුත් කරන්න බැහැ.

ජීවත් වෙද්දි අපි මේ සමාජ ක්‍රමය ඇතුළෙ පීඩාවට පත් වෙන දේවල් අපමණයි. ඒවා ගැන මට කම්පනයක් තියෙනවා. හැබැයි මම ලියන්නෙ ඒ නිසාම නොවෙයි. අපි මේ ගත කරමින් ඉන්න ජීවිත ඇතුළෙ අපට විඳින්න, විඳවන්න තියෙන දේවල් අපමණයි. අපේ නිර්මාණ ඇතුළට ඒවා එබිකම් කරන එක වළක්වන්න අමාරුයි. මේ සියල්ල සිතේ එකතු වෙලා, යම් යම් දරා ගැනීම් සීමාවලට ආවට පස්සෙ ඒක මුදා හරින්න ඕන. මට ඒ සඳහා තියෙන හොඳම මාධ්‍ය තමයි නවකතාව.

සුමුදු චතුරාණි ජයවර්ධන

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)