කිරිබත්
*******
අතොරක් නැතිව හතර අතින් ඇසෙන රතිඤ්ඤා හඬ නිසා මැදියම ගතවී හෝරාවක් දෙකක් යන තුරු අමරෙගේ ඇස් නින්ද නොදුටුවේය. තමාට නින්ද ගියේ කීයටදැයි ඔහුවත් නොදනී. අලුත් අවුරුද්දේ පළමු දින හිරු එළිය දැකීමටත් පෙර ඔහු අවදි වූයේ බිරිඳ ශ්රීමතීගේ හුරුපුරුදු හඬිනි.
ශ්රීමතී කවදත් ඔහු අවදි කරවන්නේ සිහින් ස්වරයෙනි. එය රහසින් කොඳුරනවා බඳු හඬකි. වසර දාහතක් තිස්සේ හිමිදිරියේ ඇහෙන ඒ හඬ ඔහුට බොහෝ හුරුය. ‘‘අමරේ මේ’’ යැයි ඇසෙද්දී කොතරම් තද නින්දක සිටියද ඔහු අවදි වෙයි.
‘‘කෙසෙල් කොළයක් කපාගෙන එනවද?’’
හිස් බඩ වතුර වීදුරුවක් හිස් කරමින් සිටි අමරෙට ශ්රීමති පැවැසුවාය. ඒ හඬ වෙනදාටත් වඩා අද කරුණාබරිතය. අද අලුත් අවුරුද්දේ පළමුවැනිදාය. එකත් එකටම ඇය මේ වන විට කිරිබතට කිරි මුසු කරනවා විය යුතුය. කිරිත් ලුණුත් එකට මුසුවී කිරිබත ඉදෙන සුවඳ තවමත් හමන්නේ නැත. ශ්රීමතීගේ අතින් පිසෙන කිරිබත පුදුම සුවඳය. රස ද ඊට එහාය. ශ්රීමති අතින් පිසෙන කෑමට ලොල්වූ අමරේට කඩ කෑම රුස්සන්නේ නැත. ඒ සියල්ලටම වඩා ඔහු කවදත් ප්රිය කරන්නේ ඇගේ අතින් පිසෙන කිරිබත් කෑමටය. ඒ කිරිබත කෑමට ඔහුට රැයක් දවාලක් කියා වෙනසක් නැත.
හිස් වීදුරුව මේසය මත තැබූ අමරේ පිළිකන්නට ගියේ පිහිය ද අතැතිවය. තවමත් හිරු එළිය පොළොවට වැටී නැත. ඔහු ඒ හිමිදිරි අඳුරට දෑස් හුරු කරගත්තේය. දැන් ඔහුට කෙහෙල් අතු හොඳ හැටි පෙනෙයි. තවමත් රේඩියෝවේ පිරිත් හඬ නැඟෙයි. පිරිත් හඬ ඔස්සේ අමරේ හිමිදිරියේ වේලාව කියදැයි හිතින් ගණන් හදා බැලුවේය.
අමරේ කෙහෙල් අත්තක් පහත් කර ගැනීමට දැගළුවේය. ඇම්බුන් පඳුරෙන් නම් කෙසේවත් අත්තක් කැපිය නොහැකිය. උසට වැවුණු ඇම්බුන් අත්තක් කැපීමට නම් කෙක්කක් ද රැගෙන ආ යුතුය. වේලාවෙ හැටියට එය වැඩි වැඩකි. අමරේ ඊළඟට බැලුවේ කෝලිකුට්ටු පඳුර දෙසය. යාන්තම් උඩ පැන ඔහු අත්තක් පහත් කර ගත්තේය. ළා කෙහෙල් අත්තක එතූ විට බත් රසය. එහෙත් කිරිබත් තුනී කිරීමට අවශ්ය මඳක් මේරු කෙසෙල් කොළය. කිරි ලුණු පදමට යොදා උයාගත් කිරිබත කෙසෙල් කොළයේ වඩන විට එයින් නැඟෙන සුවඳට අමරේට කටට කෙළ උණන තරම්ය. ඔහු කෙසෙල් අත්තද ගෙන අඩියට දෙකට මුළුතැන්ගෙට ගොඩ විය. ඒ වන විට ශ්රීමති කිරිබත පිස හමාරය.
‘‘මං හිතුවා කෙහෙල් පැළ හිටවලා වැවෙනකල් බලන් ඉන්නවා කියලා.’’
ඇය වැඩ කරන්නේ නව ප්රබෝධයක් ලද්දා සේය. හරියට කසාද බැඳපු අලුත වගේය.
‘‘ගස් උසයි’’
කොහේදෝ සිට පැමිණි පූසා අමරේගේ කකුල් අතර වෙළෙන්නට වූයේය.
‘‘ උදේ පාන්දරම ආවද ඇඟේ ඇලෙන්න.’’ අමරේ පුසාගේ පස්සට සිහින් පහරක් ගැසුවේය.
‘‘ ඔහෙ ඉන්න දෙන්න ඔය අහිංසකයාට“ඇය පාදය එහෙට මෙහෙට කරමින් පුසා සෙල්ලමට ඇද ගත්තාය.
ශ්රීමති කවදත් බළලුන්ට බල්ලන්ට කාරුණිකය. උන්ට කවුරුත් හිරිහැර කරනවාට අකමැතිය.
“මට නම් පේන්න බැහැ.”
අමරේ තේ කෝප්පය බොන අතරේ අකමැත්ත ප්රකාශ කළේය.
“ඔයා අකමැති වුණාට පොඩ්ඩි ගෙදර එන්නේ ඌ හොයාගෙන.”
“අම්මගෙ දුවනේ.”
“ඒක නෙමෙයි හවසට පන්සල් යනවද?” ශ්රීමතී ඊළග ප්රශ්නය යොමු කළේ අමරේ ළඟටම ඇවිත්ය. ‘බැහැ‘ යැයි කියන්නට ඔහුට බැරිය. අද අවුරුද්දේ පළමුවැනිදාය.
“යමු”
උදෑසන සිට ගෙදර සුමේ කරන ශ්රීමතිට මෙවැනි පුංචි දේවල් වුවත් සතුටු වන්නට හොඳටම ප්රමාණවත් බව අමරේ දනී. එනිසාම ඔහු ඇයගේ හිත රිදවීමට අකමැතිය.
ශ්රීමති කිරිබත තුනීකර හමාරය. ලුණු මිරිස ද සාදා හමාරය. එහෙත් ලුණු මිරිසේ තවමත් සුවඳක් නැත. එකත් එකටම තාම ලුණු මිරිසට දෙහි දැමුවේ නැතුවා වන්නට ඇත. කිරිබතට අමතරව බතත් වෑංජන දෙකකුත් මාළුවත් උයා හමාරය. ශ්රීමති ඊයේ රෑ නිදාගෙන නෑ වගේ. අමරේ තනිවම සිතුවේය.
පොඩ්ඩි නිදි ගැට කඩ කඩා ඇවිත් අමරේගේ ඔඩොක්කුවේ වාඩි වූවාය.
“හෙට අනිද්දා දීග දෙන වයස. තවම පොඩියි කියලද හිතේ.”
ශ්රීමති එසේ කියන්නේ ආදරේට බව පොඩ්ඩිටත් වඩා හොඳින් අමරේ දනී.
“ඉතිං මං පොඩියිනේ” පොඩ්ඩි කියන්නේ අමරේගේ ඔඩොක්කුවේ තවත් හොඳට හරි බරි ගැසී වාඩි වෙමිනි. දියණිගේ හුරතලය අමරේගේ සිත සනසයි. විවාහ වීමෙන් පසු පළමු දරුවා දියණියක වේ නම් හොඳ යැයි ඔහු සිය දහස්වර පැතුවේය. එහෙත් ලැබුණේ පුතෙකු වුවද දියණියක ගැන තිබු බලාපොරොත්තුවේ තරම දන්නේ අමරේ පමණි. ශ්රීමතිගේ කුසේ දෙවන වරට ද දරුවකු පිළිසිද ගත් විට අමරේ අපමණ සතුටට පත් විය.
“අපි ස්කෑන් එකක් කරලා බලමුද?“
මාස ගණන සම්පුර්ණ වේගන එන විට ශ්රීමති අමරේට යෝජනාවක් ගෙනාවාය.
“ඕන නෑ දුවෙක් වුණත් පුතෙක් වුණත් අපේ නේ“අමරේ ශ්රීමතීට පැවැසුවේය. දිනෙන් දින පැහැපත් වන ශ්රීමති දකින අම්මා නිතර පැවසුවේ මෙවර නම් දුවක බවය. ශ්රීමතීගේ අම්මාද කීවේ ඒ අනාවැකියමය. හැමෝගේම බලාපොරොත්තු සඵල කරමින් ශ්රීමතීට ඉපදුණේ දුවෙකි. එදින තරම් අමරේ ජීවිතයේ සතුටු වූ දවසක් තවත් නැති තරම්ය.
“අද තාත්තා කන්තෝරු යන්නේ නැද්ද?”
දියණියගේ හඬින් අමරේගේ කල්පනා ලෝකය බිද වැටිණි.
“කෝ අයියා.”
“අයියා පන්ති යන්න ලැස්ති වෙනවා”
“කෝ… එහෙට වෙන්න මමත් යන්න ලැස්ති වෙන්න ඕන.”
අමරේට තම කිකරු දියණිය ගැනත් නිවිසැනසුණු බවින් යුතු පුතු ගැනත් හිතේ තිබූණේ ආඩම්බරයකි. ජීවිතයේ ලද ලොකුම සැනසුම මේ දරු දෙදෙනා යැයි ඔහු නිතර මෙනෙහි කළේය. පුතු දැන් තමන්ටත් වඩා උසය.
ළිදෙන් වතුර ඇඳ නා ගත් අමරේ කුස්සිය පැත්තෙන්ම නිවෙසට ඇතුළු වූයේය. කුස්සියෙන් එන කිරිබත් සුවඳට ඔහුගේ කුස ගින්න දෙගුණ තෙගුණ විය. ඔහුට මේස දෙස බැලුණේ ඉබේටමය. අමරේ දුටුවේ හිතේ හැටියට කිරිබත් කන පූසාය. අමරේට සිතුණේ පැන්න ගමන් පූසාට පහර දෙන්නටය. එහෙත් කෑකෝ ගසන්නට ගියොත් සියල්ල උඩි යටිකුරු වනු ඇත. .
“අද පළවෙනිදා…!” අමරේට ඒ සැණින්ම සිතිණි.
“මේකා ගෙට ගන්න එපා කියලා කොච්චර කිව්වත් ඇහුවද…..දැන් ඉතිං කාපල්ලකෝ”අමරේ තමාටම කියාගත්තේය.
“ශ්රීමා”
අමරේ ගේ පිළිකන්නට එබීබැලුවේය.
“මං මේ නාරං ටිකක් කඩන්න ගියා.. දැන් දෙහි ගණන්නේ.”
හීන් නාරං දැමූ විට ලුණුමිරිස තවත් රසය. දැන් ඉතිං කිරිබත ගැන ශ්රීමාට කීමෙන් පලක් නැත. සිදු වන්නේ මේ හොඳ දවසේ ඇගේ හිත නරක් වීම පමණි. පහර කෑ පුසා පේන මානයක නැත. අමරේගේ සිතේ ඇත්තේ දෙගිඩියාවකි. අමරේ මේසය ළඟට කිට්ටු වී කිරිබත අතින් සකසා කාමරයට වැදුණේය. අමරේ ශ්රීමති පිළියෙල කර තිබු අලුත් ඇදුම් ඇන්දේ පූසා ගැන අමතක කරන්න උත්සාහ ගනිමිනි. කුස්සිය දෙසින් ඇසෙන්නේ ශ්රීමති පූසා සුරතල් කරමින් වැඩ කරන හඬය. පූසා කිරිබත කෑ බව කීවේ නම් ශ්රීමති එය පිළිනොගනු ඇත. අනෙත් අතට ඇය එය පිළිගත්තේ නම් කිරිබත කුණු ගොඩට විසි කරනු ඇත. ඇය අලුත් කිරිබතක් පිසින්නට මහන්සි වනු ඇත. එය නැති කරදරයකි. මේ පළවෙනිදා ඇගේ හිත රිදවන්නට හොඳ නැත. අන්තිමේදී කිසිවක් නොකියන්නට අමරේ හිත හදා ගත්තේය. එහෙත් පුසා කිරිබත් කෑ දසුන හිතෙන් අමතක කරන්නට බැරි විය.
අමරේ කෑම මේසයට ආවේ ශ්රීමති කතා කළ විටය.
කෑම මේසය ලස්සනය. අහුකොන් කපා හැඩට කපා තිබූ කිරිබත් දීසිය ලස්සනය.ශ්රීමතිගේ අතින් ගානට ලුණු මිරිස් දෙහි පදමට දමා සෑදු ලුණුමිරිස සමඟ කිරිබත් කැල්ලක් කෑමේ දොළක් අමරේගේ සිත උපන්නේය. නමුදු එසැණින් ඔහුට මැවි පෙනුණේ පුසා කිරිබත් කමින් සිටි අයුරුය. කිරිබත් කෑමේ ආසාව යටපත් කරගෙන අමරේ මේසයට වාඩි වුයේය.
“අපි තාත්තා එනකම් හිටියේ“
පුතාත් දියණියත් හිස් පිඟන් ඉදිරියේ බලා හිදි. අවුරද්දේ පළමු දින කෑම මේසය සරුය. කැවිලි ජාති කිහිපයකි. කජු මාළුවක් සමඟ සිංහල අච්චාරුවක් ද බටු මෝජුවක් ද සාදා තිබිණි. ශ්රීමති කවදත් ඉවුම් පිහිම්වලට හපනියකි. මේ කොයික සමඟ කිරිබත් කෑවත් රසය. එහෙත් “අද නම් කිරිබත් කන්නේ නෑ.” අමරේ තමන්ටම පොරොන්දුවක් දුන්නේය.
“කෝ පිඟාන මෙහාට කරන්න.”
කිරිබත් දීසියෙන් ගත් පළමු කිරිබත් කෑල්ල ශ්රීමති අමරේගේ පිඟානට දමන්නට හැදුවා පමණි.
“මට එපා ….”
අමරේගේ හඬට දියණියත් පුතුත් ඔහු දෙස බැලුවේ විමතියෙනි. තම හඬ ඕනැවට වඩා සැර වී යැයි ඔහුට සිතුණේ මඳ වේලාවකට පසුවය.
“එපා… මං බත් කන්නම්…” අමරේ එය කීවේ බොහෝ සන්සුන්වය.
“ඔයා කිරිබත්වලට ආසනේ….” ශ්රීමති බොහෝ සෙමින් කීවාය.
කිසිත් නොකී අමරේ බත් හැඳි දෙකක් බෙදා ගත්තේය. දුවත් පුතාත් කිරිබත් බෙදා ගන්නා දෙස අමරේ ඇස් යටින් බලා සිටියේ කනස්සල්ලෙනි. ඔහු පිඟානට යොමු කරගත් මුහුණින්ම කෑම කන්නට විය. වෙනත් වසර වල පළමු දා කරන කියන දේ පවා ඔහුට අමතකව ගොස් තිබිණි.
“මෙන්න …හරි නම් මෙයයි අපට මෙහෙම දෙන්න ඕන… කියමින් ශ්රීමති කිරිබත් කැල්ලක ලුණු මිරිස් තවරා අමරේගේ මුවට ළං කළාය.
“එපා…. මට… එපා කිව්වාම එපා…”
ශ්රීමති තිගැස්සුණාය. ඇය ඔහු ළඟින් අඩියක් පස්සට වුවා සේය. තම හඬ සැර වැඩි වුවායැයි අමරේට සිතෙන විට සියල්ල සිදු වී හමාරය.
“මට හෙම්බිරිස්සාව….” අමරේ හෙමිහිට පැවැසුවේය.
“විකාර මීට කලින් හෙම්බිරිස්සාව තියෙද්දි කිරිබත් කෑවේ නෑ වගේ…තියෙන නපුරුකම…. මං කොච්චර ආසාවෙන් ද මේ හැමදේම කළේ…..” ශ්රීමති හඬ හැඬුම්බරය. ඇගේ දෑසින් රූරා වැටුණු කඳුළු බිඳු දෙකක් මේස රෙද්ද මතට වැටිණි. මොහොතකින් ශ්රීමති වාඩි වී හුන් පුටුව පස්සට කර නැඟිට ගියාය. අමරේ අනමින් සිටි බත් පිඬ මුවට දා ගැනීමට එපා විය. දුවත් පුතාත් කෑම මේසයෙන් නැඟිට ගොසිනි. එකත් එකටම ශ්රීමති ඇඳේ මුනින්තලා වී හඬනවා වන්නට ඇත. අමරේ ඒ දසුන සිතින් මවා ගත්තේය. කෑම මේසය අසල දැවටෙමින් සිටි පූසා ද පෙනෙන්නට නැත. අමරේට මහා පාළුවක් දැනිණි.
“මගේ වැරැද්ද” අමරේ තමන්ටම කියා ගත්තේය. මේසය මත වූ කිරිබත් පිඟාන තමන්ට සමච්චලයට සිනාසෙනවා යැයි අමරේට සිතිණි.
ඉනෝකා සමරවික්රම
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)