මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ අවසන් උපන් දින සාදය – කරුණාරත්න අමරසිංහ

No Comment 20 Views
හිතක මතක
මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ අවසන් උපන් දින සාදය
(2023 වන වසරේ සැප්තැම්බරයේ මා මිත්ර ජනක ඉණිමංකඩයන් විසින් තම විදර්ශන ප්රකාශන ආයතනය මගින් පළමු වරට මුද්රණයෙන් ප්රකාශයට පත් කරවූ මගේ ‘හිතක මතක’ පොතට ඇතුළත් මාර්ටින් වික්රමසිංහයන් ආශ්රිත මගේ අත්දැකීම් සම්භාරයෙන් බින්දු මාත්රයක් මෙසේ පළ කැරෙන්නේ ඔහුගේ 134 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි.)
මහා ලේඛක මාර්ටින් වික්රමසිංහයන්ගේ ජන්මයෙන් 134 වසරක් පිරෙනුයේ 2024 මැයි මස 29 වැනි දිනයෙහිය. ඔහු ජන්මාන්තර ගතව 2024 ජූලි 23 දිනට 48 වසරක්
සපිරේ. මට ඔහු මුලින්ම හඳුනා ගන්නට වාසනාව ලැබුණේ මා විශ්ව විද්යාලයේ අවසන් වසර ගත කරන සමයේය. විශ්ව විද්යාලයේ දර්ශන අංශ සඟරාවේ ඒ වසරේ සංස්කාරක වූ මා ඊට ලිපියක් සපයන ලෙසට ආරාධනා කිරීමට මගේ විශ්වවිද්යාල සගයෙක් වූ සෝමරත්න දිසානායකයන් (පසුව නීතිඥ සෝමරත්න දිසානායක )සමග ඔහුගේ නාවල නිවසට ගිය දිනයේය. ඒ ලිපිය හා බැඳුණ මන බඳින සිද්ධියක් ඇත. ආරාධනයෙන් සතියකට පමණ පසු එක්තරා හැන්දෑවක සෝමෙත් මමත් අර ලිපිය ගෙන ඒමට නාවල ගෙදරට ගියෙමු. අප දැක හඬ නඟා සිනාසුණ වික්රමසිංහ සූරීහු අපූරු පුවතක් හෙළි කළහ.
“මං අර ලිපිය ලියාගෙන ගියා. දන්නෙම නැතුව ඒක පොතකට දික් වුණානෙ! ඒ වෙනුවට මං වෙන ලිපියක් දෙන්නං”
පසුව ඔහු විසින් පළ කරන ලද “භව කර්ම විකාශය ” එම ලිපියෙන් විකසිත පොතයි.
ඒ අයුරින් සිදුවුණු හමුවීම නොසිතූ විරූ දැඩි කුලුපග ඇසුරක් ලෙසට වැඩී ගියේ ඔහු මගේ විවාහයේ සාක්කි කරුවෙකු බවටද පත් කරමිනි. ගුණදාස අමරසේකර සාහිත්ය සූරීහු අනෙක් සාක්කිකරුවාණෝ වූහ.
පසු කලෙක වික්රමසිංහ සූරීන් දුන් අවසරයෙන් ඔහුගේ ‘ම⁣⁣ඩොල් දූව’ නවකතාව මවිසින් ගුවන්විදුලි ළමා නාට්යයක් ලෙස සකසා සතිපතා කොටස් වශයෙන් ප්රචාරය කරන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ චිත්රපටය නිෂ්පාදනය වීමටත් පෙරමය. එම ගුවන්විදුලි නාට්යය නිෂ්පාදනය කළේ එකල ජාතික ගුවන්විදුලියේ ළමා හා කාන්තා වැඩසටහන් සම්පාදකවරිය ලෙස රාජකාරි කළ පළමු ලංකා ගුවන්විදුලියේ පළමු නිවේදිකාව වශයෙන් ඉතිහාස ගත වුණු ප්රභා පෙරේරා( පසුව රණතුංග) මහත්මියයි. එකල ඇගේ නිෂ්පාදන සහයක වූයේ විශ්වවිද්යාලයේ එකම වසරේ මගේ සගයෙකු වන වර්තමාන ගුවන්විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහයන්ය. අලුත ගුවන් විදුලියට බැඳී සිටි ඔහු අති කෝවිද ගුවන්විදුලි නිෂ්පාදකයෙකු , ශූර ක්රිකට් විස්තර ප්රචාරකයෙකු මෙන්ම පසු කලෙක සිංහල සේවා අධ්යක්ෂක වරයාද වූ පාලිත පෙරේරා විශිෂ්ටයා යටතේ එකල පුහුණු වෙමින් සිටියේය. එම ‘මඩොල් දූව’ නාට්යය නිෂ්පාදනයට පෙර වරක් මා හඩ්සනුන්ද නාවල ගෙදරට කැඳවා ගෙන ගොස් මාර්ටින් වික්රමසිංහයන්ට හඳුන්වා දුන් සැටිත් එදා අප දෙ⁣දෙනා බොහෝ වේලා ඔහු සමග මධු සාද විඳිමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිට ආපසු පැමිණි සැටිත් මෙවේලේ මගේ සිහියට නැගෙයි. මා ලියූ ‘ම⁣ඩොල් දූව’ ගුවන්විදුලි නාට්යයේ එකල කාර්මික නිෂ්පාදන සහායක වූ ආර්.පියදාසයන් මුලදී ගුවන්විදුලියේ අධ්යාපන සේවයේ ශූර නිෂ්පාදකයෙකු ලෙස මෙන්ම පසුව රූපවාහිනියේ කෘතහස්ත නිෂ්පාදකයෙකු ලෙසද කටයුතු කිරීමෙන් අනතුරුව , එහිම නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් පදවියටද පත් වූයේ පියදාස රත්නසිංහ යන නම් පෙරළියෙනි. පසු කලෙක මගේ ‘ම⁣ඩොල් දූව’ ගුවන්විදුලි නාට්යය දෙවැනි වරටත් ප්රචාරය වූයේ අති ශූර ගුවන්විදුලි නිෂ්පාදක මහින්ද අල්ගමයන්ගේ නව නිෂ්පාදනයක් වශයෙනි. ‘ගම්පෙරළිය’ චිත්රපටිය හැර වික්රමසිංහයන් ධරමාන කාලයේ ඔහුගේ නිර්මාණ කෘති ආශ්රයෙන් කෙරුණු අනික් එකම විද්යුත් නිෂ්පාදනය ‘මඩොල් දූව’ ගුවන්විදුලි නාට්යය යැයි සිතමි.
එදා ගුවන්විදුලිය විසින් ‘ම⁣ඩොල් දූව’ පොතේ අයිතිය වෙනුවෙන් ගෙවන ලද කර්තෘ භාග මුදලද මටම ගෙවන ලෙස ගුවන්විදුලි බලධාරීන්ට ලියා දැන්වූ වික්රමසිංහ සූරීන්ගේ නොමසුරු ත්යාගශීලී ගුණය හා පිය සෙනෙහස කෙසේ සිතින් මැකී යේද? අප දෙදෙනා අතිශය කුලුපග වීමෙන් පසු ඔහු විසින් ලියැවුණු හැම පොතකම වාගේ සෝදු පත් කියවීම මෙන්ම සූචිය හා ගැටපදය සැකසුමද මටම පැවරීම ඔහු නියත වතක් කරගෙන සිටියේය. එය මා ලද දුර්ලභ ගෞරවයක් කොට සලකමි. එම කාරිය උදෙසා ඔහු නොමසුරුව යහමින් ගෙවූ මුදල් මා ප්රතික්ෂේප කළ බැවින් වරින් වර මට බොහෝ ඇඳුම් පරිත්යාග කිරීමෙන් වික්රමසිංහ සූරීන් තම හිත නිදහස් කර ගත්තේ තමා තුළ පැවති අවංක ශ්රම ගෞරවය මනාව ප්රකට කරමිනි.
එකල සතියකට වරක් දෙවරක් නාවල නිවසට ගොස් වික්රමසිංහ සූරීන් මුණ ගැසී අල්ලාප සල්ලාපයෙහි යෙදීම මා අත් නොහළ වතකි. ඔහු සමග පිළිසඳරෙහි යෙදෙන විනාඩි පහක කාලය අවුරුදු පහක ඥානාලෝක කදම්බයකි. යහපත් කාලගුණය පවත්නා සෑම දිනකම සවස් යාමයේ කරන පා ගමනද වික්රමසිංහ සූරීන්ගේ නියත වතක්ව පැවතුණි. මා නාවල නිවසේ සිටි ඇතැම් සැන්දෑවක තම පාද යාත්රාවට මාද සහභාගි කර ගත්තේ නව යොවුන් කෙළි ලොල් ලීලාවෙනි. එසේ ඇවිද යන ඇතැම් විටක ඔහු කතා කරන්නේ සිනාසෙන්නේ හැසිරෙන්නේ කුඩා දරුවෙකු සතු සැහැල්ලු බවකිනි. මා ඉතා සමීපව ඇසුරු කළ සාහිත්ය වනස්පතීන් දෙතුන් දෙනා අතුරෙන් මා දැක ඇති නිහතමානයේ පරම මූර්ති වශයෙන් මාර්ටින් වික්රමසිංහ සහ එදිරිවීර සරච්චන්ද්ර යන පුරුෂ ශ්රේෂ්ඨ ද්විත්වය හැඳින්වීම කවර වරදද?
මා සමග එකට නාවල ගෙදරට ගොස් මාර්ටින් වික්රමසිංහ සූරීන් හමුවී නිතර නිතර සාහිත්ය පිළිසඳරෙහි යෙදීම වතක් කරගෙන සිටි මගේ කුලුපග මිතුරු සහෘදයෝ කිහිප දෙනෙක් එකල සිටියහ. ඒ වූකලී සුනන්ද මහේන්ද්ර , සෝමරත්න දිසානායක ,රංජිත් ධර්මකීර්ති, හේමරත්න ලියනආරච්චි , පාලිත පෙරේරා ,නිමල් හොරණ යන විශිෂ්ටයෝය. නාවල ගෙදරට ගිය හැම හවසකම රෑ බෝ වන තුරු පිළිසඳරෙහි යෙදී සිටින අප ඉන් පිටත්ව එන්නේ මාර්ටින් වික්රමසිංහ සූරීන් වතක් මෙන් නොවරදවා නොමසුරුව කරන ප්රශස්ත අතිථි සංග්රහයෙහි අනුහසින් මධුර මධු මද මුදිතවය. අහෝ ඒ සැමරුම් මනරම්ද කෙතරම් නම්!
1972 ජනරජ ව්යවස්ථාව අනුව බිහිවුණු ආණ්ඩුව විසින් පළමු ජනාධිපති සම්මාන උළෙල පවත්වන ලදී. එම උළෙලේදී ජනාධිපති සම්මානයෙන් පුද ලද පළමු ලේඛකයා වූයේ මාර්ටින් වික්රමසිංහ සූරීන්ය. ඉස්කෝලේ පහේ පන්තියෙන් හැලීමට පමණක් වාසනාව ලබා උපන් මාර්ටින් වික්රමසිංහ නාම ධේය මේ පින්වත් කුමරා (කේන්දර බසින්) එහිදී තමාට සම්මාන තිළිණයක් සමග පිරිනැමූ දහසින් බැඳි පියල්ල එවේලෙහිම ආපසු පිරිනමමින් එය දිළිඳු සිසුවෙකුට විශ්වවිද්යාල ශිෂ්යත්වයක් පිහිටවනු පිණිස යොදා ගන්නැයි වග කිය යුත්තන්ගෙන් ඉල්ලා සිටියේය.එකල වූ විශ්වවිද්යාල තුනම ඔහු නූතන සිංහල සාහිත්යයට කළ මහා මෙහෙවර සලකා වික්රමසිංහ සූරීන්ට සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුවේය. එහෙත් ඒ සම්මාන ආචාර්ය නාමය තම නමට මුලින් නොදමන ලෙස ඔහු සියලුම පුවත්පත් කතුවරයන්ට ලියා දැන්වූ බව මා ඇසුවේ ඔහුගේ මුවින්මය. “ආචාර්ය මාර්ටින් වික්රමසිංහ” නාම ධාරී ලේඛක මහේශාඛ්යයෙකු ගැන සිහිනෙනුදු අපට අසන්නට නොලැබුණේ එහෙයිනි .
තමා උපන් කොග්ගල නිවස 1962 වසරේදී එකල ආණ්ඩුව විසින් යළි වික්රමසිංහ සූරීන්ට පිරිනැමෙන දින පැවැති වෙසෙස් උත්සවය වාර්තා කිරීම සඳහා ගුවන්විදුලියේ තිලක සුධර්මන් ද සිල්වා සහ කුලසිරි අමරතුංග යන විශිෂ්ටයන් සමග එහි ගිය මට එහිදී මාර්ටින් වික්රමසිංහ සූරීන් කළ කෙටි දෙසුමේදී ඇසුණු මේ සදානුස්මරණීය හෘදයානන්දකර වදන් දිවි හිම් තෙක් මගේ මතකයේ රැව් පිළිරැව් දෙනු කවර අරුමයක්ද?
“ඔබ මට කරන මේ ගෞරවය හිමි විය යුත්තේ මට නෙවෙයි. මගේ සිංහල භාෂාවටයි.ඒ මොකද කියතොත් , මට දුකක් දැනුණු වෙලාවෙදිත් මම මගේ සිංහල භාෂාවෙන් ලිව්වා. සන්තෝෂයක් දැනුණු වෙලාවේදීත් මගේ සිංහල භාෂාවෙන් ලිව්වා .ඒ නිසයි මම සිංහල ලේඛකයෙක් වුණේ . ඒක හින්දයි මේ සියලු ගෞරවය මගේ සිංහල භාෂාවට හිමිවිය යුත්තේ “
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රයන්ගේ නාට්ය නිර්මාණ කාර්යට ජීවමාන මූලාශ්රයක් වූ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ අවමංගල්ය උත්සවය මගේ සිහියට නැගෙයි. එය පැවැත්වුණේ ගුරුන්නාන්සේ උපන් බලපිටියේ අම්පේ නම් කුඩා ගමෙහිය. එදා එම අවමංගල්ය  සභාවේදී ගුරුන්නාන්සේගේ ගුණ කීර්තනය කළේ දෙදෙනෙක් පමණි. ඉන් ප්රධාන වූයේ මහාචාර්ය සරච්චන්ද්රයන්ය. අවමංගල්ය සභාව මෙහෙයවූ තැනැත්තා පළමු ගුණ කථනය සඳහා ආරාධනය කළේ මෙසේය.
“ලංකාවේ ඉර හඳ වගේ ප්රකට පුද්ගලයෙකුටයි මම පළමුවෙන් ආරාධනා කරන්නෙ. ඒ මහා ගත්කරු මාර්ටින් වික්රමසිංහ මහත්මයාටයි.”
මාර්ටින් වික්රමසිංහයන් අවමංගල්ය සභාවකදී පැවැත්වූ එකම කතාව
එයදැයි නොදනිමි. ඔහු එදා එහිදී පැවැත්වූයේ ඉතා කෙටි ගුණ කථනයකි. ඔහු මේ වදන් කීපයෙන් තම කතාව හමාර කළේ කට කොනකට නගාගත් හිනාවක්ද සමගිනි.
“චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සෙත් ගැමියෙක්. මමත් ගැමියෙක්. ඔහු කලාකාරයෙක්. මම ලේඛකයෙක්. අපි දෙන්නගෙ වෙනස මේකයි. ගුරුන්නාන්සෙ තමන්ගෙ කලාවෙන් ආස්වාදයක් ලැබුවා. මම රටේ නැති වල්බූත ඔළුවෙ පුරවාගෙන දුක් විඳිනවා.”
කොළඹ හා පේරාදෙණිය ගුරු කුල අතර පැවති නොනවතින සාහිත්ය කෝලාහලවලින් ඒක කෝලාහල වුණු හයවැනි දශකය තවමත් මගේ මතකයේ ඒක කෝලාහල වෙයි . නව නගර ශාලාවේ දවස පුරා පැවැති සාහිත්ය සම්මන්ත්රණයකි.හවස් වරුව වෙන් වූයේ ‘කෙටිකතා’ වෙනුවෙනි. මූලාසනයේ මාර්ටින් වික්රමසිංහ සූරීහුය. දේශකයා කේ.බී සුගතදාස සූරීන්ය. මූලාසන සමාලෝචනයේදී වික්රමසිංහ සූරීන්ගේ මුවින් මෙවදන් පිටවුණි.
“සුගතදාස මහත්තයා කෙටිකතාව ගැන කළේ මහා වල්බූත කතාවක්.”
කොළඹ ගුරුකුල දෙබරයට ගල වැදුණි .වියරුව ගිය කොළඹ ගුරුකුල දෙබරුන්ගේ විෂ මිසයිල පහරින් පේරාදෙණිය ගුරුකුලයට කවර ගැලවීමක්ද? මයික්රෆෝනයෝ ඉගිල ගියහ. පුටුහු අහසට පිනූහ. ආක්රෝශ පරිභවයෝ ඒක නින්නාද දෙති. කොළඹ ගුරු කුල කඳවුරු සෙන්පතියෝ වනාහි පී.මලල්ගොඩයෝය. මැන්දිස් රෝහණධීරයෝ පේරාදෙණි ගුරු කුල කඳවුරු සෙන්පතියෝය. නව නගර ශාලා සාහිත්ය කෝලාහල සප්ත මහා සාගරය ආලෝලනය කළ යුගල ගුරුකුල ලෝල ජන කල්ලෝලයන් මැඬලිය හැකි වූයේ අප්රමාණ ආයාසයකිනි.
යළි මුලසුන ගත් වික්රමසිංහ සූරීහු නැඟිට සිටියහ. මයික්රෆෝනය වෙතට සෙමින් ළං වූහ. ඉන් පසු ඔහුගේ මුවින් ගිලිහුණු මේ අමර වදන් මගේ මතකයේ සදා රැව් දේ.
“සරස්වතී වාසය කරන්නෙ කලාකාරයෙකුගේ හදවතේ පමණයි. ද්වේෂය ඇති කලාකාරයෙකුගේ හදවතේ සරස්වතීට ඉන්න බැහැ. හිටියත් ඇය පිච්චිලා අළුවෙලා යනවා.”
මාර්ටින් වික්රමසිංහ සූරීන් හඳුනාගෙන කුලුපග වීමෙන් පසු ඔහුගේ සෑම උපන්දින උත්සවයකටම සහභාගීවීම මම වතක් කරගතිමි. එසේ සහභාගී වීමට බැරි වූයේ එකම එක උපන්දින උත්සවයකට පමණි.එය ඔහුගේ 79 වැනි ජන්ම සැමරුමයි. එය යෙදී තිබුණේ 1969 මැයි මස 29 වැනි දිනටය. මගේ පානීග්රහණය සිදුවූයේ ඊට කලින් දිනයේය. මගේ හෘදයංගම සාක්කිකරුවන් වනු පිණිස එදින ගුණදාස අමරසේකරයන් සමග බොරැල්ලේ වයි.එම්.බී.ඒ ශාලාවට පැමිණි මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 79 වැනි උපන්දිනය වෙනුවෙන් පසු දා පැවති උත්සව සාදයට මා කෙසේ සහභාගි වන්නද? එදා මම මගේ මංගල මධු සාදයේය.
මාර්ටින් වික්රමසිංහ සූරින්ගේ 85 වැනි උපන් දිනය නිමිත්තෙන් 1975 මැයි මස 29 වැනි දින රාත්රියේ (මීට අවුරුදු 49කට පෙර ) ඔහුගේ නාවල නිවසේ පැවති සාදයට මා සහ මගේ කුලුපග මිතුරන් වන නිමල් හොරණ (එකල ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා සහෝදරයාගේ ජනදින-ජනසතිය වාමාංශික පුවත්පත්වල ප්රධාන කර්තෘ; 1994-1999 ‘සිළුමිණ’ පුවත් පතේ ප්රධාන කර්තෘ, සුප්රකට කවියා හා ලේඛකයා ); දයාපාල ජයනෙත්ති (මාර්ටින් වික්රමසිංහ භාරකාර පදනමේ වර්තමාන පරිපාලන ලේකම් ; සුප්රකට ලේඛක) ඇතුළු අපි කීප දෙනෙක් සහභාගී වීමු.
මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ අවසන් උපන්දින සාදය මෙය වෙතියි අපි කිසිවෙක් එදා නොසිතුවෙමු. ඔහු එදා එතරම්ම ජීවයෙන් හා සති සම්ප්රජන්යයෙන් යුක්තව සිටි හෙයිනි . එහෙත් 1976 මැයි මස 29 වැනි දින තම 86 වැනි උපන් දිනය එළඹෙන විට ඔහු සිටියේ බලවත් ලෙස රෝග ග්රස්තව මංච පරායණවය. මුළු ජීවිතය පුරාම එකසර කෙසරිඳු බඳුව සිංහල ලකුණ සොයන්නට නිරතුරුවම වෙහෙසුණු මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ මසැස 1976 ජූලි මස 23 වැනි සිකුරාදා සවස 06.45 ට සදහටම වැසී ගියද, එතුමන්ගේ නැණැස ඔහු ලියූ පොත පතෙහි තවමත් නොනිවී දැල්වෙයි.
සිරිකත ඔබට පිටු පෑ මුත්
පැටි කලම
තනිවම පොත පතින් ගති
සරසවි වරම
අගයා ඔබේ සාහිත මෙහෙයෙහි
තරම
දුනි ආචාරි පට තිබු
සරසවි තුනම
නොමගෙන ආචාරි අබිමන
තම සිතට
නොදමන ලෙසට එම ගරු පට
නම මුලට
දැන්විය එදා ඔබ පත් කතුවර
හැමට
පස් වැන්නට එහා නොගියත්
පාසලට
මගෙ සරසවි සමයෙ ඔබ
පළමුව හැඳින
බැඳුණයි හදින් බව ඇසුරක
පල ලෙසින
නිවහල් සිතුම් මසිතෙහි
පොබ කළ නිතින
ඇදුරෙකි පියෙකි සොයුරෙකි
මිතුරෙකි කලන
පරගැති නැති සිහල සලකුණෙහි විසිතුරූ
දිවි හිම් තෙක් වැනූ තම පොතින් නිරතුරූ
ඔබ හට දිගා පැතු රසවතුන්
පිරිවැරූ
අමතක වෙද එදින පස්
අසූ වස් පිරූ
[මාර්ටින් වික්රමසිංහයන්ගේ අවසාන (85) උපන්දින සාදයේදී ගත් පහත පළ වෙන ඡායා රූපයේ (ඔබේ) වම් පස සිට දයාපාල ජයනෙත්තීහු, මාර්ටින් වික්රමසිංහ සූරීන්, නිමල් හොරණයන්, මාම්පිටිය මිතුරා හා මා සමග තවත් මිතුරෙක්.]
කරුණාරත්න අමරසිංහ

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)