අතරතුර තාක්ෂණයේ හා තාරුණ්‍යයේ විප්ලවයක් අතරින් දිවෙන නවකතාවක් ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ – සිළුමිණ – සුමුදු චතුරාණී ජයවර්ධන

No Comment 9 Views

අතරතුර තාක්ෂණයේ හා තාරුණ්‍යයේ විප්ලවයක් අතරින් දිවෙන නවකතාවක්

ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ

September 28, 2024

සුමිත්‍රා රාහුබද්ධ නාමය නවකතා කලාව ඇතුළත සන්නාමයකි. රාජ්‍ය, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සියලු සම්මාන ඇගේ නවකතා වෙනුවෙන් පිරිනැමී තිබේ. බුමුතුරුණු, අගපිපිමල්, කන්දක් සේමා, ඉටිපහන් වැනි නවකතා නොකියවූ පාඨකයෙක් සොයාගත නොහැකි තරමට ඇය පාඨක ප්‍රජාව අතර තම මුද්‍රාව තැබුවාය. සිය නවකතා බහුතරයක් ටෙලිනාට්‍ය වීමේ ප්‍රහර්ශිත සතුට ද, කන්දක් සේමා නවකතාවේ චිත්‍රපට අත්දැකීම ද ඇයගේ නිර්මාණ ඉසව් පෘථූල කිරීමට සමත් විය.

අතරතුර සුමිත්‍රා ලේඛිකාවගේ අලුත්ම නවකතාවයි. පරම්පරා පහක් ඔස්සේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වෙනස්කම තාක්ෂණික විප්ලවය ඇසුරේ විග්‍රහ කර ගන්නා ඇය මේ ඔස්සේ වෙනස්ම කියැවීමකට පාඨකයා රැගෙන යයි. මේ අතරතුර නවකතාව ගැන ඇය සමඟ කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයයි.

අතරතුර නවකතාවට පදනම් වෙන්නේ පරම්පරා වෙනස්කම් ගැන. මෙවැනි තේමාවකට පසුබිම වශයෙන් ඔබේ පර්යේෂණයට ලක්වූ විෂයය පථය ගැන කතා කරමු.

අප පරම්පරා දහස් ගණනක් පසුකරගෙන ආ මානවයන්. පරම්පරා ගත්තත් එක එක රටවලට එක එක විදි තියෙනවා. ලෝකයටම පොදුවේ ගන්න පුළුවන් ලිඛිත පරම්පරා පහක් වගේම අනාගත පරම්පරා දෙකකුත් තියෙනවා. මේ දෙවැනි පරම්පරාවේ හෑෂ්ටැග් පරම්පරාව කියන භාවිතය මෙවර ජනාධිපතිවරණයේදී භාවිත කරනු මා දුටුවා. මම මෙහිදී අවධානය යොමු කළ පරම්පරා පහක් තියෙනවා. ඒ Silent Generation- (1925 සිට 145), Baby Boomers- (1946 සිට 1964), Generation X (1965 සිට 1980), Millenids (1981 සිට 2000), Generation Z (2001 සිට 2020) ලෙසයි. මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කළ තරුණ කණ්ඩායම අයත් වන්නේ Gen Z හෙවත් zoom පරම්පරාවටයි. මේ පරම්පරා ඉතා විගස පරම්පරා පරතරය ඕනෑකමින්ම ඇතිකර ගන්නට, ඒවාට මුහුණ දෙන්නට පසුබට වුණේ නෑ. මේ තත්ත්වයට වඩාත්ම හේතු වුණේ මෑතක වූ තාක්ෂණික විප්ලවයයි. සියලු දේ තීරණය වෙන මෙවලම මින් පරම්පරා තුනක් අත තිබෙනවා.

හැම දෙයක්ම තාක්ෂණිකයි. Baby Boomers ලා කියන්නේ X හෝ Millenids පරම්පරාවේ මවුපියන් විය හැකියි. Baby Boomers ලා උපන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවුණු සොල්දාදුවන්, යුද්ධයට සම්බන්ධ වූ අනෙකුත් අය සිය නිවෙස් බලා නැවත පැමිණීමෙන් පසු බිහි වූ නව පරම්පරාවටයි. BB ඇරඹෙන විටම වාගේ කළු සුදු රූපවාහිනිය පමණක් නොවෙයි, පරිගණකයෙන් ජීවිතය සැහැල්ලු කර ගැනීමේ අවකාශයත් උදා වුණා. පරිගණක ජීවිතයට සැලකිය යුතු බරකින් එළැඹුණේ X පරම්පරාව. මිලේනියර්ස්ලාට එන විට සම්පූර්ණ පරිගණක විප්ලවය සිදුවී හමාරයි. රැකියා වශයෙන්, ඉගෙනීම් වශයෙන් ගත්තොත් ඔවුන් රැකියාව හා ඉගෙනීම අගය කළත් විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා, තදබල නීති රාමු යටතේ සේවය කිරීම් ආදිය කෙරෙහි විරෝධාකල්පයක් දැක්වූවා. Z පරම්පරාවට එනවිට සියල්ල පෙරකී උපකරණය හෙවත් Smart Phone විසින් පාලනය කරනු ලබනවා. කෑම- බීම, ඇඳුම්- පැලඳුම්, බේත්- හේත්, වෛද්‍යවරුන් චැනල් කිරීම්, උසාවි කටයුතු, සංචාරය, ගුවන් ගමන් යනාදී සියල්ල පාලනය වෙන්නේ, කරන්නේ තාක්ෂණය විසිනුයි. රැකියාවකට බඳවා ගැනීමේදී තීරකයා, රැකියා ලාභියා මිස රැකියාව දෙන තැනැත්තා නොවීම දක්වා සියල්ල පරිවර්තනය වී තිබෙනවා. ඉඳින් මා කියන්නේ මේ සියලු වෙනස්වීම් අතරෙහි ඉඳහිට මතුවෙන මනුෂ්‍යත්වය ගැනයි, සංස්කෘතික කාරණය ගැනයි. මේ නව පරම්පරා සියලු කාරණාවලදී නිදහස ප්‍රාර්ථනා කරන බවයි. BB පරම්පරාවේ සමහර මවුපියන් එය වටහාගෙන ඔවුන් ද සිය දරු පරම්පරාවලට අනුගත වුණත් සමහරුන්ට එය ඉතා අසීරු වුණා. තේමාව ලෙස උඩින් පෙනෙන්නේ පරම්පරා කාරණයක් වුණත් මෙය මේ ලෝකයේම ඇතිවූ තාක්ෂණයේ හා තාරුණ්‍යයේ විප්ලවයක් අතරින් දිවෙන නවකතාවක් ලෙසයි මගේ හැඟීම‍

පරම්පරා චින්තන වෙනස්කම් ඔබේ අවධානයට යොමු වෙනවා. ඒ විතරක් නොවේ ඒවා එකින් එක සම්බන්ධ කරන්න ඔබ උත්සාහ කරනවා

ඔව්. දකින විදිය වෙනස්. ඒ සඳහා මා මැද පරම්පරාවකින් කෙනෙක් තෝරා ගන්නවා කථානායිකාව ලෙස. ඒ කල්කි. කල්කි මිලේනියල් පරම්පරාවට අයිතියි. ඇගේ මවුපියන් අයිති BB පරම්පරාවටයි. වේවැලක් භාවිත කරන්නට රුචි නමුත් නව පරම්පරා වෙනසකට බියෙන් එය සඟවා ගෙන හැඩ ගැසෙන්නට බල කෙරෙන පරම්පරාවක් තමයි Baby Boomers.දැන් මෙතන සිටිනවා Silent Gen එක. ඔවුන් ඉතාම සාම්ප්‍රදායිකයි. බිරිය සැමියාගේ බැලමෙහෙවරට උපන්නේ යැයි අඩුවැඩි වශයෙන් සිතන පරම්පරාව වගේම, ගැහැනිය ජනප්‍රිය ලෙස සිතන යුගයක උපන් පරම්පරාව. BB පරම්පරාව කඩඉම පනින්නට සමත් වෙනවා. ඒත් පිම්ම සීමාසහිතවයි. පය පැකිළී වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. නිදහස තවමත් ප්‍රශ්න කරනවා. ගැහැනු රස්සාවලට යනවා. පඩිනඩි හැදෙන්නේ ගැහැනුන්ට අඩු මිලක් නියම කිරීමේ සම්ප්‍රදාය අනුවයි. මේ එකින් එක සම්බන්ධ වෙන්නේ නිතැතින්මයි. Z පරම්පරාව වඩාත් අනාගතකාමියි. එමෙන්ම මමත්වය පූර්ණවම විඳගන්නවා. ඒඅනුව කටයුතු කරනවා. මිලේනියර්ස්ලා මට මම මට වෙනවා නම් zoom පරම්පරාව මමම පමණයි.

මිනිස්සු කොච්චර විවෘතයි, මනසින් දියුණුයි කිව්වට තමන්ගෙ දේවල් ගැන තීරණ ගනිද්දි සංස්කෘතිය ඉදිරියට එනවා. පරණ සංස්කෘතික මිනිසා ඉස්මතු වෙනවා. කල්කි සම්බන්ධයෙන් පියා ක්‍රිෂ්ණා කටයුතු කරන ආකාරය ගැනයි මා හිතුවේ?

ඒ කතාව ඇත්ත. සංස්කෘතිය වෙනස් කරන්න පෙරමුණ ගත්තත්, තමන් සම්බන්ධ කටයුතුවලදී, තමන්ගේ දරුවන් සම්බන්ධ කටයුතුවලදී සංස්කෘතික මිනිසා මතු වෙනවා. කල්කිට වුණත් එහෙමයි. BB කෙනෙක් නිසා ශේෂ වැඩියි. හැමෝම සංස්කෘතිය හලන්නේ අනුන්ගේ කාරණා සම්බන්ධයෙන් වුණාට තමන්ගේ කාරණා සම්බන්ධයෙන් සංස්කෘතික කණ්නාඩිය වහා පැලඳ ගන්නවා. මෙහිදී කවිත්‍රා තරමක් ඉදිරියෙන් සිටිනවා. ඇය අනාගතයට බද්ධ වී සිතන්න පෙලඹෙනවා; අනුගත වෙනවා. ක්‍රිෂ්ණා කල්කි සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සාම්ප්‍රදායික පියකු ලෙසයි; ආදරණීය පියකු ලෙසයි; ඒ වගේම සමාව දෙන වගේම සමාව ගෙන දෙන පියකු ලෙසයි. ඒ සංස්කෘතික මිනිසාගේ උච්ඡාවචන. ගම්පති වුණත් එහෙමයි. අතීතය බදා ගත්තත් අනාගතය දකිනවා. අතීතයට ආදරය කළත් අනාගතය බැහැර කරන්නෙත් නැහැ. ඒත් සංස්කෘතික මිනිසා මියෙනතුරු රැක ගන්නවා.

පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඔබේ අකමැත්ත මේ කතාව ඇතුළෙන් මට පේනවා

පවතින අධ්‍යාපන ක්‍රමය ගැන කොහොමත් සතුටු වෙන්න බැහැ. මේ රටේ සියලු ව්‍යසනවලට, කැරලිවලට, අරගලවලට, පන්ති බෙදුම් උසි ගන්වන්නට පවත්නා අධ්‍යාපන ක්‍රමය හේතු වෙනවා. එය රජයේ පාලනය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළත විශේෂයෙන් කැපී පෙනෙනවා. බුද්ධිය, දැනුම ලබාදීම වගේම වෘත්තීය අධ්‍යාපනය ද වැදගත් බව දැනදැනත් ඒ අනුව කටයුතු කරන්නට තවමත් සැලකිය යුතු පියවර ගෙන නැහැ. ඒ නිසාම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් බැහැර යන විද්‍යාර්ථියකුට දැනුම, බුද්ධිය, වෘත්තිය අවස්ථා, රසවින්දනයයි වැඩි ප්‍රතිශතයකින් ලැබෙනවා. මෙයට ඉංග්‍රීසි භාෂා දැනුම ද අදාළයි. ප්‍රායෝගික ඥානය ලබා ගැනීමේ මං හෙළිපෙහෙළි කර දීමේ අධ්‍යාපන ක්‍රමය ද අදාළයි.

මේ පරම්පරා දේශපාලනය දකින විදියත් එකිනෙකට වෙනස්. ඔබ සියුම්ව ඒ ගැනත් අවධානය යොමු කරනවා

මේ පරම්පරා දේශපාලනය මම දකින්නේ ඔවුන්ගේ චින්තනයට, ඔවුන්ගේ දැනුමට සාපේක්ෂවයි. ඔවුන් වැඩිහිටි පරම්පරාවේ සමහර ආකල්ප බැහැර කරනවා. ඒ සංස්කෘතික බැඳීම් වගේම දේශපාලන බැඳීම්, සංස්ක‍්තික හා දේශපාලන කල්පිතයන් කෙරෙහි ඔවුන්ගේ විරෝධය, ඔවුන් එක්කෝ නිහඬ වීම මඟින් නැත්නම් සහමුලින්ම නිහඬ වීම මඟින් සංඥා කරනවා. ගම්පති පරම්පරාවේ දේශපාලනය ගතානුගතිකයි. BB පරම්පරාවේ දේශපාලනය ගතානුගතික බැමි මුදා හරින්නට සූදානම්. X පරම්පරාව ඉතාමත් නිහඬයි. මිලේනියල් පරම්පරාව දේශපාලනය විශේෂයෙන් ආසියාතික රටවල දූෂිත දේශපාලනය දෙස බලන්නේ උපහාසාත්මකවයි.

Z පරම්පරාව දේශපාලනය සලකන්නේ පයට පෑගෙන දුහුවිල්ලක් වගෙයි. විශ්වාසයක් නෑ. වෙනසක් බලාපොරොත්තු වුණත් ක්‍රියාශීලීව ඉදිරිපත් වෙන්නෙ නෑ.

සංස්කෘතිකමය වෙනස ඔබ සාධාරණීකරණය කරන්නෙ පරිණාමය ගැන වන අවබෝධයෙන්ද?

ඔව්. පරිණාමය ගැන අපට අවබෝධයක් නැති වෙන්න බැහැනෙ. සංස්කෘතිකමය වෙනස සාධාරණීකරණය කරන්න හේතු සාධක තිබුණත් ඒවා එකිනෙකට වෙනස්. පරම්පරාවෙන් පරම්පරාව විටෙක ඉදිරියටත්, තවත් විටෙක පසුපසටත් යනවා. තවත් අවස්ථාවක අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගන්නා සාධකයක් බවට අද පරම්පරා විසිනුත් ප්‍රයෝජනයට ගනු ලබනවා. විශේෂයෙන් සත්පුරුෂ සමාජයීය කාරණාවලදී; නැත්නම් වෘත්තීයමය කාරණාවලදී.

ආදරය වැනි සාධක ගැන වන ඔබේ නව කියැවීම් පාඨකයාට ඔබ දෙන්න උත්සාහ කරනවා

ආදරය ගැන BB ලා හිතපු විදියට නොවෙයි, පසු පරම්පරා හිතුවෙ. ආදරයත් පෙර පරම්පරාවලට නීනිගරුකව ජීවත් වීමේ යහගුණය හා සම්බන්ධව බැඳුණු කාරණාවක්. එය ගම්පෙරළියේ නන්දා හොඳින් පැහැදිලි කරනවා, අරුන්දතී රෝයිගෙ God of small things හි මූලික ආදරය වැනි සාධක එදාට වඩා අද බොහෝ වෙනස්. BB පරම්පරාවේ ආදරය දෙස මිලේනියල් පරම්පරාව බලන්නේ උපහාසයෙන්. එහෙත් සමහරවිට පරම්පරා වෙනසකින් තොරව ගැහැනු තවමත් ඉහත පරම්පරාවක ගැහැනු මෙන්ම ආදරය කරනවා, ආදරය සොයා යනවා, ආදරය වෙනුවෙන් හඩා වැටෙනවා. කල්කි එයට හොඳ උදාහරණයක්. ඇය ඕබිට ආදරය කරනවා. ඒ ආදරයේ ප්‍රේමණීය බවටයි. ඇය රවීන්ට භාර්යාව වැනි හැඟීමෙන් ආදරය කරනවා. රවීන්ට යුතුකම් ඉටු කරනවා වගේම අතදෙනවා. කසාදය පවා ඔහුට උදව් කිරීමේ අරමුණෙන් කෙරෙන්නක්. ගැහැනියගේ ආදරය පරම්පරා බැඳීම්වලින් ඔබ්බට ගියත්, ඒ යදම් තවමත් අඩුවැඩි වශයෙන් තියෙනවා.

කුටුම්බයේ විවිධ පැති ගැන වන ඔබේ අවධානයත් මෙහි විශේෂයෙන් කැපී පෙනෙනවා. ජීවිතය ගැන කරන මේ විශ්ලේෂණය නවකතාවේ ගොඩනැඟීමට කොතෙක් වැදගත් ද?

ඕනෑම කෘතියක් සම්පූර්ණ වෙන්නේ මානව සමාජ හා සංස්කෘතික අවකාශයක් ඇතුළතයි. නැතිනම් එය හිතලුවක් පමණක් වෙනවා. තාක්ෂණික පරම්පරාවක නොසලකා හැරීම්වලට ගොදුරු වන පෙර පරම්පරාවක් පිළිබඳ පූර්ණ හැදෑරීමක් නොමැතිව පසු පරම්පරාව සමඟ ඇතිවන ගැටුම් නීර්ණය කරන්න අමාරුයි. අත්තම්මාගේ සිට කල්කි දක්වා ගැහැනු ඒ සමාජ හා සංස්කෘතික යදම් අතරින් රිංගා පැමිණි අය. රටක සංස්කෘතියේ බර පොදි ගැහැනියගේ උරමත රඳා ඇති බැවින් ඒ සංස්කෘතික හා සමාජමය යදම් පිළිබඳව පර්යේෂණමය අවකාශය, වියමන ශක්තිමත් කිරීමට අවශ්‍ය වෙනවා. එය භාවිත කළා නොවෙයි; භාවිත වුණා ඉබේටම.

මට අතරතුර කියවද්දි ඔබේ සිය සිය පත් සිය නවකතාව ගැන සිහිපත් වෙනවා. එයත් පරම්පරා ගණනක් ගැන විවාහය කියන සාධකය ඇතුළේ ගොඩනැඟෙන නවකතාවක්. පරම්පරා ඝට්ටනය ඔබට කම්පාවට පත් කරන සාධකයක්ද?

සිය සිය පත්සිය හි මම කතා කරන්නේ විවාහය හා විවාහ මංගල්ලය කෙරෙහි පරම්පරා වෙනස්කම් නිසා ඇති වූ බලපෑමයි. රත්නාවලී සිට රොමිතෝ දක්වා ගැහැනු එයට මුහුණ දෙන ආකාරයයි. මෙය ඊට වෙනස් වෙන්නේ පරම්පරා වෙනස දේශපාලනිකව, ආර්ථික වශයෙන්, සාමාජයීයව සහ භෞතිකව වෙනස් වෙන ලිඛිත පරම්පරා පහක විශ්වාස කළ නොහැකි තරමේ ඝට්ටනයක් ඇතිවී තිබෙන නිසා. පරම්පරා ඝට්ටනය අපේ සාහිත්‍යයෙහි මුල සිටම අවධානයට ලක්වෙලා තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යය එවැන්නක්. කේ. ජයතිලකගේ රාජපක්ෂ වලව්ව ඒ තේමාව හොඳින් ග්‍රහණය කරගෙන තිබෙනවා. චරිත තුනක් විකාශනය වෙන්නෙත් එහෙමයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන්ඈදුතු නවකතාත් එහෙමයි. අතරතුර නවකතාව ගෝලීය කාරණා ගැන කතා කරනවා. ප්‍රේමය, රැවටීම, ස්ත්‍රී හිංසනය, මුදල් පසුපස හඹා යෑම, මානුෂීය හැඟීම් වැසී යන්ත්‍ර වැනි මිනිසුන් බිහිවීම Silent Generation එකේ සිට zoom Generation එක දක්වා එනකොට හොඳින් පෙනෙනවා. දික්කසාද උත්සව පැවැත්වීම සංකේතාත්මකයි නේද? Silent Generation එක දික්කසාදය අපරාධයක් විදියට සලකන කොට මිලේනියම් පරම්පරාවට එය උත්සවයක්. ඒත් කල්කි දික්කසාද උත්සවය ඇතුළෙ නැවත ගැහැනියයි.

ඔබ ජනප්‍රිය සංස්කෘතික කාරණා වගේම පුරාණ සංස්කෘතික කාරණා ගැනත් එකවගේම සවිඥානිකයි. මේ සමබරතාව නිර්මාණකරණයට කෙතරම් වැදගත් ද?

ලේඛකයෙක්, පාඨකයෙක් හා නිරීක්ෂකයෙක් වශයෙන් ලොකු අවදියකින් ඉන්න ඕන. ඒ කාරණා ගැන වැටහීමක් හා කියැවීමක් තියෙන්න ඕන. මගේ කැමැතිම විනෝදාස්වාදය කියැවීම, නිරීක්ෂණය, සමාජය ගැන අවදියෙන් සිටීම. ඒ නිසා මගේ පන්හිඳ මගේ හිතේ ඇති ඒ ජනප්‍රිය සංස්කෘතික කාරණා වගේම පුරාණ සංස්කෘතික කාරණාත් ඉබේම උකහා ගන්නවා. එතකොට හිතයි පන්හිඳයි එකක් වෙනවා.

මේ කෘතියට ඔබ මානව, සමාජ හා සංස්කෘතික පර්යේෂණමය අවකාශයක් නිර්මාණය කර ඇති බව පෙනෙනවා. වියමන ශක්තිමත් කරන්න කොහොමද ඔබ එය භාවිත කළේ?

මේ කෘතියේ තේමාවෙහි ස්වභාවය අනුව මානව, සංස්කෘතික හා පරිකල්පනමය අවකාශය අවශ්‍යමයි. පිරිමියෙක් කියන්නේ කොහේ හිටියත් අද තව වෙනතුරු පිරිමියෙක්මයි. තාක්ෂණික පුනරුද කොහොම වුණත් පිරිමියා ඇතුළෙ පුරාණ පුරුෂයා අඩුවැඩි වශයෙන් ඉන්නවා. කවුරු මොනවිදියට නිර්වචනය කළත් ගැහැනිය විවෘත වෙළෙඳපොළේ අඩු තක්සේරුවට ලක්වන්නියක්. කල්කි විවාහය බලාපොරොත්තු වුණාට ඕබි විවාහය බලාපොරොත්තු වෙන්නෙ නෑ. සුවී වුණත් මොකක් කරයිද දන්නෙ නෑ. රවීන් කසාද බඳින්නේ මූල්‍යමය අවශ්‍යතා පිරිමහ ගන්න වෙන්න පුළුවන්. ඔහු තාක්ෂණික හා සංගීත ලෝකය ජයගත්තත් බිරියට පහර දෙන්න අමතක කරන්නෙ නෑ. තාක්ෂණික කාරණායි, වෙනත් වර්ධනයනුයි නිසා පරම්පරා වැඩ කරන ආකාරය වෙනස්ව පේනවා. Millenid හා zoom පරම්පරාවලට එනකොට ඔවුන් ඉතාම නිදහස් වැසියන්. ඒත් යම් යම් හැසිරීම්හි ඔවුන් අනෙකාගේ නිදහසට අවහිර කරනවා.

සුමුදු චතුරාණී ජයවර්ධන

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)