ලේඛනයට කැමැත්තක් දක්වන දුහුනනට නිර්මාණකරණය ගැන මඟපෙන්වන්නට බොහෝ ලේඛකයෝ මැළිකමක් දක්වති. වෙසෙසින් ම ඒ ඔවුන් තුළ පවත්නා ආත්මාර්ථකාමීත්වය නිසාවෙනි. එසේ ම ඔවුහු නිර්මාණකරණය යනු හැමෝට ම කළ නොහැකි දෙයක් බවත්, එය සිදුකළ හැක්කේ තමන් වැනි සුවිශේෂ පුද්ගලයන්ට පමණක් බවත් කියාපාමින් දුහුනන් බිය ගන්වති. ඔවුන් බොහෝවිට උත්සාහ දරන්නේ, තමන් නිර්මාණකරණයේ දී ලද ආයාසකර අත්දැකීම් වෙනත් කිසිවකු හා බෙදා නොගෙන තමන් පමණක් නිර්මාණකරණයේ නියැළෙමින් එයින් බැබළෙන්නටය. නොඑසේ නම්, දුහුනකු තුළ වන ප්රතිභාවක් දුටු තැන එය නිර්දය ලෙස විචාරයට ලක්කර උපන්ගෙයි ම වළ දමන්නටය.
එසේ නොවන දෙස් විදෙස් ලේඛක ලේඛිකාවන් ද කලාතුරකින් හෝ දක්නට ලැබීම නිර්මාණකරණය නොනැසී ඉදිරියට ගෙන යන්නට මහඟු පිටිවහලක් වී තිබේ. දේශීය වශයෙන් ගත්කල එවන් සේවයක නියැළුණ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර, මාර්ටින් වික්රමසිංහ, ධර්මසිරි ගමගේ වැනි අපේ ප්රවීණ ලේඛකයන් ඊට නිදසුනි. එදිරිවීර සරච්චන්ද්රයන්ගේ ‘සාහිත්ය විද්යාව’, මාර්ටින් වික්රමසිංහයන්ගේ ‘සාහිත්ය ලෝකය’ වැනි මාහැඟි කෘති මගින් මෙන්ම, ධර්මසිරි ගමගේ සූරීන් බිහිකළ ‘යොවුන් ජනතා’ පුවත්පත සහ ‘යොවුන් පහන් වැට’ නිර්මාණ කේන්ද්රය මගින් ද ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ලියා පළ කරන ලද පුවත්පත් ලිපි මගින් ද සිංහල සාහිත්යයේ මෙන්ම, නිර්මාණකරණයේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද්දේ සුළුපටු සේවයක් නොවේ.
මෙම සද්කාර්යයේ නියැළුණ විදෙස් ලේඛකයන් අතරින් මුලින්ම අප සිහියට නැඟෙන්නේ සෝවියට් රුසියානු ගත්කතුවරයකු වන කොන්ස්තන්තීන් පව්ස්තොව්ස්කි ය. ඒ ඔහු විසින් විරචිත The Golden Rose නමැති විශිෂ්ට සාහිත්ය කෘතිය හේතුවෙනි. විශිෂ්ට අනුවේදනීය කෙටිකතාවක සිද්ධි දාමයක් නිදසුන් හි තබා නිර්මාණකරණයේ දී ලේඛකයකු අනුගමනය කළයුතු ක්රියාපිළිවෙත එකින් එක විස්තර කරන ඒ සිත්ගන්නාසුලු උපදෙස් මාලාව ‘රන් රෝස’ නමින් අදින් වසර ගණනාවකට පෙර සිංහල පාඨකයාට සමීප කරන්නේ ප්රවීණ කිවිවර ආරියවංශ රණවීරයන් ය.
ඔබ අප කවුරුත් දන්නා ෂාමිට්ගේ සහ සුසේන්ගේ ප්රේම වෘත්තාන්තය අවසන බිහිවූ රන් රෝස මල මිල දී ගන්නා මහලු ලේඛකයා ඒ ඇසුරින් අපගේ නිර්මාණකරණය සඳහා එල්ල කරනු ලබන ආලෝක කදම්බය සුලුපටු එකක් නොවේ. ඔහු පවසන මේ කෙටි පරිච්ඡේදය ඒ බව මැනවින් සනාථ කරයි.
“ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා බිණූ වදනක් හෙළුෑ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටුලු රේණුවක්, ගෙදිගු විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් ඈ මේ සියල්ල ම රන්සුනුය. ලේඛකයන් වන අපි චිරාත්කාලයක් තිස්සේ යටි හිතෙන් මෙවන් අනන්ත අප්රමාණ රන්සුනු අහුලමු. අහුලා දිනෙක ඒවා ගෙන එකට තලා අපගේ ම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක් නවකතාවක් හෝ කවක් වියහැකි ය. සාහිත ශ්රොතය උපදින්නේ මේ අගය නොමිනිය හැකි රන් සුනුවලිනි’
පවුස්තොව්ස්කිගේ The Golden Rose කෘතිය ලොව පුරා වෙසෙන ලේඛකයන්ට නිර්මාණකරණයේ අත්පොත බවට පත්වූයේ යම් සේ ද ආරියවංශ රණවීරයන් ඊට කරන ලද ‘රන් රෝස’ නම් එහි සිංහල පරිවර්තනය ඊට අඩු වැඩි වශයෙන් මෙරට ලේඛක ප්රජාවගේ නිර්මාණකරණයේ අත්පොත බවට පත්වූ බව නොරහසකි.
එහි එන සාරය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෙරට ලේඛක ප්රජාවට එය වඩාත් සමීප කරන්නට අපේ රටේ කෘතහස්ත ලේඛිකාවක සහ පුවත්පත් කලාවේදිනියක වන සුමුදු චතුරාණි ජයවර්ධන සමත්ව සිටින්නීය. ඒ ඇගේ ‘රන්සුනු-නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි’ නම් මාහැඟි කෘතිය තුළිනි.
එයට දීර්ඝ පෙරවදනක් සපයන කොළඹ විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ ඇගේ කෘතියේ අන්තර්ගතය දකින්නේ එය ‘සාහිත්ය කියවන්නන් හා රචනයට උත්සුක වන්නන්හට ප්රේරණයක් සපයන, ඒ පිළිබඳ ආශා දල්වන කෘතියක්’ ලෙසය.
නිර්මාණකරණයට අවැසි කමටහන් සම්පාදනය කරගැනීම ගැන The Golden Rose තුළින් පවුස්තොව්ස්කි නිදසුන් හි තබන්නේ එක් ප්රබල අත්දැකීමක් වුව ද සුමුදු අපේ දෙස් විදෙස් බොහෝ ලේඛකයන්ගේ නිර්මාණවලට කමටහන් සැපයූ අත්දැකීමි බොහොමයක් සිය ‘රන්සුනු’ කෘතියෙහි බහා අප වෙත පිරිනමා තිබේ. එනිසා නිර්මාණයක් සඳහා එකිනෙකට වෙනස් අත්දැකීම්වලින් ‘රන්සුනු’ පෙරාගන්නා ආකාරය පහසුවෙන් අවබෝධ කරගන්නට නිර්මාණකරණයේ යෙදෙන්නන්ට එය මඟ පෙන්වයි.
නිර්මාණකරුවන්ට නිර්මාණකරණයේ යෙදෙන්නට අවැසි බොහෝ දේ අප ජීවත්වන මේ පරිසරය පුරා ම ගැබ්ව ඇති බව පවසන ඇය, අප ඒ දේවල් හරියාකාරව නිරීක්ෂණය නොකිරීම නිසා අපට ඒවා මඟහැරෙන බවත, එසේ මඟහැරෙන දෑ දෙස වඩාත් අවධානයෙන් බැලීමට අප පුරුදු පුහුණු වුවහොත්, ඒවා අපේ නිර්මාණ සඳහා දායක කරගැනීමට හැකි බවත් ‘රන්සුනු’ කෘතිය මගින් ඇය අපට පෙන්නා දෙන්නීය. අප මෙලොව ජනිතවන්නේ කිසියම් නිර්මාණාත්මක හැකියාවක් අප තුළ තිබිය දී බව පවසන ඇය අප ඒ දෑ වර්ධනය කරගැනීමට නම් ඒ අවශ්ය කරුණු කාරණා සම්පාදනය කරගත යුතු බවත් පෙන්වා දී තිබේ
.
එම කරුණු වඩාත් හොඳින් පාඨක අපට ග්රහණය කරගැනීමට හැකිවන අයුරින් ඇය ඇගේ ‘රන්සුනු-නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි’ කෘතිය අප වෙත ඉදිරිපත් කරන්නේ කොටස් තුනකින් යුතුවය. ඉන් පළමුවැන්න ‘කියැවීම් පිළිබඳ සිතිවිලි’ ය. දෙවැන්න ‘හැදෑරීම් පිළිබඳ සිතිවිලි’ය. තෙවැන්න ‘ලිවීම් පිළිබඳ සිතිවිලි’ය.
‘කියැවීම් පිළිබඳ සිතිවිලි’ දිග හරිමින් අප වැඩි වැඩියෙන් කියවිය යුතු බවත් එය පොතපතට පමණක් සීමා නොවූ සමාජ කියවීමක් වියයුතු බවත් ඇය අපට පෙන්වා දෙන්නේ නිදසුන් සහිතවය. ඒ කියවීම තුළින් අපේ ජීවිතවලට වඩාත් පෘථූල බවක් එක්කර ගතහැකි බව ඇය අපට පසක් කරන්නී ය. කියවීම තුළින් අපේ ජීවිතවලට අලුතින් අත්දැකීම් එකතු වෙනවා පමණක් නොව, ලේඛනයේ දී භාවිතයට ගත හැකි විවිධ දෘෂ්ටිකෝණ පිළිබඳ අපට හැඟීමක් ද ඇතිවන අතර විවිධ ලේඛකයන් විවිධ දේ විවිධාකාරයට ලියා ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳවත් පුළුල් වැටහීමක් ලැබෙන බව ඇය සිය කෘතියේ සඳහන් කර තිබේ.
ඒ බව අපට වඩාත් තහවුරු කරන්නට තමා කියවූ බොහෝ ප්රකට ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ කෘතිවල රසමුසු තැන් උපුටා දක්වමින් ඒවා සොයා සපයා ගෙන කියවන්නටත් ඇය පාඨක අපට ඇරයුම් කරන්නීය. එහි දී කලාකරුවන්ගේ ජීවිත සහ කෘති අරබයා ගැඹුරු පර්යේෂණවල නියැළුණු සිග්මන් ෆ්රොයිඩ්ගේ චිරප්රසිද්ධ නිබන්ධ ගෙන හැර දක්වමින් ඒ සම්බන්ධ ඔහුගේ මතය ඇය සැකෙවින් අප වෙත සමීප කරන්නේ මෙසේ ය.
‘කලාකරුවකු බිහි වෙන්නේ මිනිස් මනසෙහි ඇති මර්දිත ආශ්ර මුදා හැරීමේ ප්රතිඵලයක් ලෙසය. ඒ අනුව නිර්මාණයක් යනු මිනිස් මනසෙහි මර්දිත ආශ්ර මුදා හැරීමේ ක්රියාවලියකි.’- රන්සුනු (27 පිටුව)
මෙහි දී ඇය සිග්මන් ෆ්රොයිඩ්ගේ අත්දැකීම් පමණක් නොව පවුලෝ කොයියෝ, චිංගීස් අයිත්මාතොව්, ප්රයෝදර් දොස්තයෙව්ස්කි, ෆ්රාන්ස් කෆ්කා, ජෝර්ජ් ඕවල්, ලියෝ තෝල්ස්තෝයි, අරුන්දතී රෝයි, මුල්ක්රාජ් ආනන්ද්, විලියම් ෂේක්ස්පියර් වැනි ශ්රේෂ්ඨ ලේඛක ලේඛිකාවන්ගේ විශිෂ්ට නිර්මාණවල අත්දැකීම් ද අප වෙත ගෙන එමින් ඒවායින් අප පෝෂණය කරන්නට කටයුතු කර තිබේ.
‘හැදෑරීම් පිළිබඳ සිතිවිලි’ ඡේදය කියවාගෙන යද්දී ඔබත් අපත් දන්නා ප්රසිද්ධ කියමනක් නිතැතින් ම අපට සිහිපත්වේ. ඒ ‘වැදෑරීමට පෙර හැදෑරිය යුතුය’ යන්නය. වැදෑරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන වත්මන් බොහෝ ලේඛක ලේඛිකාවන් වෙත නැත්තේ ම මේ කියන හැදෑරීමය. අප වෙසෙන සමාජය තුළ අපට අසන්නට දකින්නට ලැබෙන සියල්ල අධ්යයනය කර ඒවා අපේ නිර්මාණ කාර්යයන් තුළට අප රැගෙන එන්නේ කෙසේ දැයි හැදෑරීම සම්බන්ධ මෙම ඡේදය මගින් ඇය අපට පැහැදිලි කර දී තිබේ. එහි දී අප භාවිත කළයුතු භාෂාව, ඒ සඳහා යොදාගත යුතු ශිල්පීය උපක්රම ආදිය ගැන ද ඇය පාඨක අවධානය යොමුකර තිබේ. ඒ සම්බන්ධයෙන් පව්ස්තොව්ස්කිගේත්, ගෝර්කිගේත් අත්දැකීම් උපුටා දක්වමින් අපේ නැණමඬල ඇය ඒකාලෝක කරන්නී, ඒ සඳහා අප තුළ උත්තේජනයක් ඇති කරවමිනි. ඔවුන් ම පවසන පරිදි ලිවීම ආරම්භ කළ මුල්අවධියේ ලියන්නට අත්දැකීම් නොමැති බව දැනගත් ඔවුන් දෙදෙන අත්දැකීම් සොයා ලෝකයට පියනැඟුවෝ වෙති.
‘කියැවීම් පිළිබඳ සිතිවිලි’ නමැති මෙහි තෙවන කොටස සාහිත්යකරණයට එළැඹෙන නවකයන් වෙසෙසින් අවධානය යොමුකළ යුතු ලිවීමේ කලාව පිළිබඳව දැනුවත් කරන්නකි. රචනයෙහි මූලික තාක්ෂණික මෙවලම වන භාෂාව, දෘෂ්ටි කෝණය සහ චරිත නිර්මාණය වැනි කරුණු නිර්මාණකරුවන් දිගින් දිගට ම හැදෑරිය යුතු බව එහි දී ඇය පවසා තිබේ. මෙම කරුණ වඩාත් තහවුරු කරන්නට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ සහ මාර්ටින් වික්රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාවල උද්රෘත ඇය ගෙන හැර පාන්නී අප ඒ සඳහා වඩ වඩා ආසක්ත කරවමිනි.
‘රන්සුනු’ කෘතියට ඇතුළත් කියවීම, හැදෑරීම සහ ලිවීම යන පරිච්ඡේද තුන අපට ෆ්රැන්සිස් බේකන් පඬිවරයාගේ ප්රසිද්ධ කියමනක් සිහිපත් කරයි. ඒ, ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන කියමන ය. එම කියමන ඔහු ම තවත් වර්ධනය කරන්නේ මෙසේ ය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරය, සංවාදය මිනිසා සූදානම් කරයි, ලිවීම මිනිසා පරිපූර්ණ පුද්ගලයකු බවට පත්කරයි’ යනුවෙනි. සුමුදු පවසන්නේත්, ඒ හා සමාන අදහසකි. එනම්, ‘කියවීම, හැදෑරීම සහ ලිවීම මගින් මිනිසා පරිපූර්ණ ලේඛකයකු බවට පත් කරයි’ යනුවෙනි.
එසේ ම, මෙම අගනා කෘතිය නිර්මාණය කිරීම සඳහා කරුණු ගොනු කිරීමට ඉතා වටිනා දේශීය මෙන් ම, විදේශීය සාහිත්ය සහ විචාර ග්රන්ථ 64ක් පරිශීලනය කරමින්, ඒවායේ ‘රන්සුනු’ එක්රැස් කිරීමට ඇය ගෙන ඇති මේ වෙහෙසකර උත්සාහය ද අතිශයින් ප්රශංසනීය ය. එහෙයින්, එවන් සාරගර්භ වටිනා කරුණු රැසකින් සමන්විත සිත්ගන්නාසුලු කාව්යමය බස්වහරකින් නිර්මාණය කර ඇති ‘රන්සුනු-නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි’ යනු යමක් රහට ලියන්නට, කියවන්නට කැමැති රස සොයන පාඨක ලේඛක දෙපාර්ශ්වයට ම අතිශයින් වටිනා, සියලුදෙනා ම අනිවාර්යයෙන් පරිශීලනය කළයුතු අත්පොතක් බව පවසනු කැමැත්තෙමු.
මෙය ඇය විසින් කාලයක් තිස්සේ ‘රන්සුනු’ නමින් ‘සිළුමිණ’ පුවත්පතට ලියන ලද ලිපි මාලාවේ එකතුවක් නොවන බව වෙසෙසින් සඳහන් කරන්නේ එම ලිපි මාලාව පුවත්පතින් කියවූ පාඨකයන් මෙහි ඇතුළත් වෙන්නේ එම ලිපි මාලාව යැයි සිතා මෙම කෘතිය පරිශීලනය නොකර සිටින්නට ඉඩ ඇති බැවිනි.
ශ්රී ලංකාවේ සාහිත්ය කතිකාව පුළුල් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් පසුගිය දසක දෙකක පමණ කාලයක් පුවත්පත් සාහිත අතිරේක සංස්කාරිකාවක, විචාරිකාවක, රූපවාහිනී පූරකවරියක සහ ‘සිළුමිණ’ පුවත්පතේ නියෝජ්ය කර්තෘවරියක ලෙස කටයුතු කිරීමෙන් ඇය ලත් පරිචය මේ කෘතියේ සවිමත් පදනම බව අපේ හැඟීමයි.
● අනුර බී. සෙනෙවිරත්න
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)