එක් මුණුබුරෙකු ළදරු පාසලටත් අනෙක් මුණුබුරා පාසලටත් ඇරලවා එම ත්‍රීරෝද රථයෙන්ම ආපසු නිවසට පැමිණීම උපතිස්ස ගේ දෛනික රාජකාරීයේ කොටසකි.
නිවසට තව මීටර් දෙතුන් සියයක් තිබුණත් පියතිස්ස ත්‍රී රෝද රථයෙන් බැසගත්තේ වෙනදා පුරුද්දටමයි.හැමදාම උදේට දිනපතා පත්තරයත් අරගෙනම නිවසට යන්න පියතිස්ස පුරුදු වුණේ පුතාලා ගේ නිවසේ නැවතීමට පැමිණි අළුතමයි.උදෑසන අටහමාර පසුවී නැතත් පරිසරය පෙන්නුම් කළේ බොහෝ දහවල් වී ඇති ස්වභාවයක්. දාහය නිසා ගතට දැනුණේ වෙහෙසක්.සෑම වසරකම වාගේ මෙවර පෙබරවාරියත් දැඩි හිරු රැසින් පහර කෑමට නියමිත බව සොබාදම දැන්මම ඉඟි කරන්න අරගෙන.
” මේ පාර නම් පෑවිල්ල සෑහෙන්නම අල්ලයි වගේ නේද මහත්තයා “
පියතිස්ස දුටු මුදලාලි කඩෙන් එලියට බැස්සේ පත්තරයත් පත්තර ලෑල්ලෙන් ගලවාගෙනමයි.
” ඒවගෙයි මුදලාලි
පුදුම රස්නයක් තියෙන්නේ
පාන්දරට සීතලයි
අට අටහමාර වෙනකොටම ඉර පුපුරන්න වගේ වෙනවා”
වෙනදා වගේ කතා බහකට මුදලාලි සැරසුනත් ඇඟට දැනුණු තෙහෙට්ටුව නිසාම පියතිස්ස පත්තරයත් අරගෙන නිවසට එන්න හැරුණා. ගේට්ටුව ඇරගෙන ඇතුල් වෙනකොටම මිදුලේ ඇති මල් පැල දෙක තුන වේලෙන්න හැරිලා තියෙන බව දුටුව පියතිස්ස
” හෝස් එක අල්ලලා වතුර ටිකක්වත් දාන්න ඕනේ “
හිතුවත් එය කිරීමටවත් ප්රබෝධයක් හිතේ හෝ ගතේ අද නැහැ
” රුවිනි දුවත් දකින දකින ප්‍රදර්ශනයෙන් මල් පැල උස්සගෙන එනවා
අන්තිමට වතුර නැතිව වේලිලා ඒවා මැරිලා යනවා”
පියතිස්ස තමන්නටම මුමුණාගත්තා.
පර්චස් පහ හයක පුංචි ඉඩක අහසටම තනා ඇති තට්ටු තුනේ නිවස හරියට පෙට්ටි උඩ පෙට්ටි තියපු සෙල්ලම් ගෙයක් වගෙයි.දහවල් කාලයට නිහඬ බව අරක්ගත්ත නිවසේ උඩ තට්ටු වල විදුලි බුබුලක් හෝ දැල්වෙන්නේ රාත්‍රී නවය දහය වෙලා.
ඉදිරිපස දොර විවෘත කර ඒ ළඟම ඇති පුටුවේ වාඩිවුණු පියතිස්ස ගෙතුලට එබිකම් කළේ කවුරුන් හෝ ගෙතුළ ඇතැයි බළාපොරොත්තුවෙන් වගේ.උණු උණු තේ කෝප්පයක අවශ්‍යතාවය තදින්ම දැනුනෙන් පියතිස්ස ගේ සිහියට නැගුණේ බිරිඳ කුමාරිව.
කුමාරි හිටියනම් මේ වෙනකොට තේකක් හදාගෙන ඇවිත් නේදැයි කියා සිහිවන විට පියතිස්සට දැනුණේ වේදනාවක්.
උදෑසන ආහාරය පිළිබඳව එතරම් අවධානයක් කවදාවත්ම පියතිස්ස ගේ නැහැ.ඒත් මේ වෙලාවට හොඳ උණු තේ කෝප්පයක් තියෙනවා නම් පියතිස්ස කැමතී.මේ පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ වැඩට යන කාලේ ඉඳලමයි.රජයේ සේවකයෙකු ලෙස බැඳී ක්‍රමයක් ක්‍රමයෙන් උසස්වීම් ලබා උප දිසාපති වරයෙකු ලෙස විශ්‍රාම ගිය පියතිස්ස මොන සම්මන්ත්රණ සම්මේලන වලට සහභාගී වීමට ගියත් දහවලට කෑවේ කුමාරි බැඳ දෙන බත් මුලයි.දින කිහිපයක නේවාසික වැඩ මුළුවක් නම් හුඟවෙලාවට බඩගින්න නිවාගත්තේ තේ කෝප්පයකින්. කඩ කෑම වලට පියතිස්ස කැමතිම නැහැ.
” මොන අත් ගුණයක්ද මන්දා
පොල් සම්බෝලයි බතුයි දුන්නත් තුන් වේලම කෑහැකි “
පියතිස්ස කුමාරි ගේ කෑම පිසීමේ දක්ෂතාවය වර්ණනා කලේ එහෙමයි.
“රුවිනි දුවත් මහ රැ ඉඳලම නැගිටගෙන කුස්සියේ යුද්දේ
උදේට දවල්ට රෑට තුනටම නානාප්‍රකාර කෑම හැදිලි
රස්සාවට ගියත් දරවන්ට හොඳම දේ දෙන්නයි බලන්නේ
ඒත් මට නම් ඒ කෑම කටේ තියන්න බැහැ “
ගිය මාසේ ලොකු දූල ගේ ගෙදරට කුමාරි බලන්න ගිය වෙලාවේ කුමාරි එක්ක කියපු කතාව මතක් වෙලා පියතිස්ස ගේ කට කොණකට හිනාවක් ආවා.
එදා ආපහු එනකොට කුමාරි දූල ගේ ගහෙන් කඩලා ඇඹරුල්ලා මාළුවක් උයලා දුන්නේ ශීතකරණයේ තියාගෙන ටික ටික කන්න කියලා .ඒත් ඒක ගෙනැත් මේසය උඩ තියපු ගමන්ම හරි රසයි කියලා වැඩි හරිය කෑවේ පියතිස්ස ගේ පොඩි පුතා මිහිර.
” අම්මා උයලා දුන්නොත් ඕන දෙයක් මෙයාලට රසයි “
රුවිනි දුව කිව්වේ විහිළුවට නොවන බව පියතිස්සට ඒ වෙලාවෙම තේරුනා.
පියතිස්සටයි කුමාරිටයි දරුවෝ හතර දෙනයි.එක දුවෙක් ඕස්ට්‍රේලියාවේ.එක පුතෙක් සිංගප්පූරුවේ.ලොකු දුවයි පොඩි පුතයි ඉන්නේ ලංකාවේ.හතර දෙනාම හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවන් කරන විවාහක උදවිය.දරුවෝ විවාහ වෙලා වෙනම පදිංචියට ගියාට පසුව මහ ගෙදර ඉතිරි වුණේ පියතිස්සයි කුමාරී විතරයි.
” මීට පස්සේ අපි දෙන්නට ඕන දෙයක් කාලා ඕන තැනක ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන් “
කුමාරි එහෙම කිව්වේ පියතිස්ස විශ්‍රාම යන දවසට කලින් දවසේ රෑ.ඇත්තටම පියතිස්සත් හිතුවේ එහෙමයි.ඉගෙනගන්න කාලේ ඉඳලම පාරටම ගතවුණු ජීවිතේ පිළිවෙලක් කරගෙන ගහක් කොළක් වවාගෙන කුමාරිත් එක්ක නිස්කාංසුවේ ගත කරන්නට පියතිස්සටත් ලොකු ඕනෑකමක් තිබුණා.
ඇත්තටම පියතිස්සටත් කුමාරිටත් එකට සතුටු වෙන්න විනෝද ගමන් යන්න ඉඩකඩක් අවකාශයක් තරුණ කාලෙවත් තිබුනේ නැහැ.පියතිස්ස රාජකාරියට හිරවෙලා හිටි අතර කුමාරි හිටියේ නිවසට හිරවෙලා.දරවෝ හතරදෙනෙක් කියන්නෙත් ලොකු වගකීමක්.පියතිස්සට කුමාරි පිට කෙනෙක් නෙවෙයි.පියතිස්සගෙම මාම ගේ දුව.ඇවැස්ස නෑනා.පියතිස්සට වඩා අවුරුදු හත අටක් බාල කුමාරි පවුලේ එකම දරුවා.
පියතිස්ස ගේ තාත්තා එතරම් වත්පොහොසත් කම් තිබුණු අයෙක් නෙවෙයි. කුඹුරක් කරගෙන කොරටුවක් හිටවගෙන හිටපු සාමාන්‍ය ගම්බද ගොවියෙක්.පියතිස්ස ගේ පවුලත් බරසාරයි.ළමයි හයදෙනෙක්.ඒහැටි ළමයින්ට උගන්වන්න කරදර වෙන්න ,හොඳ රස්සාවකට යවන්න උවමනාවක් පියතිස්ස ගේ තාත්තටවත් අම්මටවත් තිබුණේ නැහැ.
කුමාරි ගේ තාත්තා තේමිස් මුදළාලි එහෙම නෙවෙයි.හොඳට හිතලා මතලා අනාගතය සැලසුම් කරපු දක්ෂ ව්‍යාපාරිකයෙක්.ඔහු තමන් ගේ ඉක්කය සපුරාගන්න තෝරගත්තේ අක්කා ගේ දරුවෝ හයදෙනාගෙන් හතරවෙනියා වුණු පියතිස්සවයි.එයට හේතුව වුණේ හැදෙන ගස පෙත්තෙන් දෙපෙත්තෙන් පෙනේ කියනවා වගේ මුළ ඉඳලම පිරිසක් අතර කැපී පෙනෙන පිං පාටක් පියතිස්සට උපතින්ම උරුමව තිබීමයි.ඒ විතරක් නෙවෙයි පාසලේදී පංසලේදී වගේ් ම ගමේ පොදු කටයුතු වලදිත් කර නොඇර ඉදිරිපත්වන ගතියක් වගේම හොඳ දක්ෂතාවයකුත් පියතිස්සට තිබුණා.
පහේ ශිෂ්‍යත්වය සමත් වෙළා නගරයේ පාසලකට යම්දෝ නොයම්දෝ කියා දෙගිඩියාවක හිටපු පියතිස්ස ගේ දෙමව්පියන් උනන්දු කරවලා අවශ්‍ය උපකරණ පොත්පත් අරගෙන දීලා නගරයේ පාසලට ඇතුළත් කර භාරකාරයා ලෙස පෙනී සිටියෙත් තේමිස් මුදළාලී.පියතිස්ස ගේ ජීවිතය වෙනම ම මාවතකට යෙමුකළේ නගරයේ පාසලයි.එහිදී පියතිස්සට කිසිදු අඩුපාඩුවක් නොදැනෙන ලෙස ඉගෙනීම නිස්කාන්සුවේ කරගෙන යන ලෙස ආර්ථික වටපිටාව සැකසුවේ තේමිස් මුදළාලී.
පියතිස්ස උසස් පෙළ සමත් වෙළා පේරාදෙණිය සරසවියට වරම් ලද දිනයේ පියතිස්ස ගේ දෙමව්පියන්ටත් වැඩිය සතුටු වුණේ තේමිස් මුදලළාලී.සරසවියට යනවද තියෙන සුදුසුකම් අනුව රැකියාවකට යනවද කියන අතර මැදක තිබුණු පියතිස්ස ගේ සිතුවිලි සරසවිය දෙසට හරවන්නත් ඔහු හේතුවක් වුණා.ඒ වන විටද ගමෙන් බාගයක පමණ දේපල ඉඩකඩම් තමන් නමට හරවාගෙන තිබුණු තේමිස් මූදලළාලිට අවශ්‍යව තිබුණේ ඔහුට අඩුපාඩුවක්ව පැවති ගරු නම්බුව පියතිස්ස හරහා ලඟාකර ගැනීමයි.
තම මාමා ගේ යටි අරමුණ පිළිබඳව නොදැන නොසිටියත් පියතිස්සට කුමාරි පෙනුනේ තම නංගිලා ගේ පෙළේම ලාබාල සොයුරියක ලෙසයි.නිහඬ තැන්පත් ගති ඇති කුමාරිද කිසිදු අයුරකින් පියතිස්ස පොළඹවන සුළු බැල්මකුදු නොහෙළු අතර නෑනා මස්සිනා සම්බන්ධයක් නොව එය හුදෙක් සහෝදර ඇසුරක්ම විය.සරසවියට පැමිණ වසරක් ඇවෑමෙන් නවක සිසුන් පිලිගැනීමේදී ඇස ගැටුණු වජිරා කෙරෙහි පියතිස්ස ගේ සිත ඇදී ගියේ තමන් වෙත පැවරී ඇති වගකීම් සියල්ල පසෙකළමිනි.
පියතිස්ස මෙන්ම ගොවි පවුලකින් පැමිණ සිටි වජිරා ගේ ලගන්නා සුළු සිනහවේ තම හිස මත බලෙන් තැබූ කිරළු ගලවා වීසි කළ හැකි යම් බලයක් වෙතැයි එකල පියතිස්ස සිතාගෙන සිටියේය.නමුත් සරසවියෙන් පිටව නැවත ගමට ආ පියතිස්සට වැටහුණේ රැකියාවක් ලබාගැනීමේ එකම පිළිගත් මාර්ගය උපාධිය නොවන බවයි.ඉල්ලුම් පත්‍ර පුරවමින් සම්මුඛ පරීක්ෂණ වලට රස්තියාදුකාර වෙමින් ගෙවූ කාලයේදී සරසවියෙන් ඉගෙන නොගත් බොහෝ දේ උපතිස්ස අත්දැකීමෙන් ඉගෙනගෙන තිබිණි.
අවසන මාමා ගේ පිහිටෙන් ප්‍රදේශයේ මන්ත්‍රී තුමා හමුවී ඒ මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයෙකුට ගතමනාවක් අතමිට මොලවා අත යටින් ලබාගත් රජයේ ලිපිකාර රැකියාවකට පියතිස්සට යන්නට හැකි වූයේ නිදහස් අධ්‍යාපනයේ නිදහස කොතනදැයි ප්‍රශ්න කෙරෙන වාතාවරණයකය.හමුවීමේ පහසුකම් හෝ කතාකිරීමේ පහසුකම් නොතිබුණු යුගයක වසරකට පසුව සරසවියෙන් පිටවූ වජිරා ද එක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් ගොඩටමය.දිගු කලක් රැකියාවක් අහිමි වී සිටි වජිරාට අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර පාසැලකට ගුරු පත්වීමක් ලැබුණු බව ආරංචි වෙන විට පියතිස්ස හා කුමාරි විවාහ වී පළමු දරුවා ද ලැබීමට ආසන්නය.
තමා වංචාවක් පොරොන්දු කඩකළ බවක් විටින් විට පියතිස්ස ගේ හදවත රිදවූවද මුළ සිටම වජිරා ද මේ පිළිබඳව දැන සිටි බව පියතිස්සට නොරහසකි .කවදාක හෝ තමා අමතක කර නෑනා විවාහ කරගනු ඇතැයි අවිශ්වාසය මුසු වදන් වජිරා ගේ මුවින් පිටවන සෑම විටකම එය එසේ නොවන බව පෙන්වීමට තමන් දැරූ ව්‍යාජ උත්සාහයන් සිහිවන විට පියතිස්සට අදත් දැනෙන්නේ පසුතැවීමකි.නමුත් වජිරා කෙරෙහි තම ඝසිත්හි හටගත් ඒ අකලංක ප්‍රේමය වෙනත් හේතු නිසා අතරමග විනාශ වී ගියද ඒ පිළිබඳව වෙනකෙකුට තබා තම මාමාටවත් දොස් නැගීමට පියතිස්ස ගේ සිත නොනැමෙයි.
” මේ තමයි වෙන්න තිබුණු දෙය “
පියතිස්ස හැමදාමත් හිත හදාගත්තේ එලෙසිනි.
වජිරා පිළිබඳව හාංකවිසියක් වත් නොදත් කුමාරි තවමත් සිතා සිටින්නේ පියතිස්ස ගේ හදවතේ එකම උරමක්කාරී තමන් කියාය.කුඩා කළ පටන්ම දැන හඳුනන පියතිස්ස ගේ ඕනෑ එපා කම් අකුරටම ඉටුකරමින් යහපත් බිරිඳක මවක ගෘහනියක යන භූමිකා තුනෙහිම වගකීම අකුරටම ඉටු කරන කුමාරි තම බිරිඳ වීමද
” විය යුතුම දෙයක් “
ලෙසින් පියතිස්ස ට හැඟීයන්නට පටන් ගත්තේද අද ඊයෙක නොවේ.
විශ්‍රාම ගැනීමෙන් සතියක් ඉක්මෙන්නට පෙර ඕස්ට්‍රේලියාවේ වෙසෙන දියණිය කතා කර පැවසුවේ වෛද්‍ය වරුන් වන තමන්ට සිඟිති දියණිය නිසා රැකියාවේ කටයුතු කළමනාකරණ කරගැනීමට අපහසු බවකි.දරුවා බලාගැනීමට කෙනෙකු සොයා ගතහොත් ඒ සඳහා වන මුදල නොදැරිය හැකි තරම් වන හෙයින් අම්මාටත් තාත්තාටත් මද කලකට තමන් හා විසීමට ඕස්ට්‍රේලියාව ට පැමිණෙන ලෙස කෙරුණු ඉල්ලීමක්ද ඒ සමගම ඉදිරිපත් විය. වෙනසකටත් එක්ක දෙදෙනාම එක්ව යන ගමනක් හෙයින් පියතිස්සත් කුමාරිත් ඒ ඉල්ලීම සතුටින් බාරගත් අතර ඒ සඳහා අවශ්‍ය කටයුතුද වහ වහා සම්පාදනය කරගැනීමට උත්සුක විය.
ඕස්ට්‍රේලියා ගමනට මද කලක් තියා කතාකල සිංගප්පූරුවේ වෙසෙන පුතාගෙන්ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ බලාපොරොත්තු නොවූ අයුරිනි.ඉංජිනේරුවන් වූ ඔවුන් දෙදෙනා ගේ එකම පුතුද නිවසේ තනිකර රැකියාවට යාමට අපහසු බැවින් මද කලකට තමන් හා විසීමට එන ලෙස අම්මාටත් තාත්තාටක කෙරෙන ඉල්ලීමකි එය.එක් ඉල්ලීමක් හෝ අහක දැමීමට නොහැකි තත්වයට පත්වූ පියතිස්සත් කුමාරිත් ජීවිතයේ අසීරුම තීරණයට එළඹියේ කොයි දරුවාටත් අවශ්‍ය වූ විටදී උපකාර කිරීම දෙමාපිය වගකීමක් ලෙස සලකමිනි.
ඒ අනුව වසර තිස් ගණනක විවාහ දිවියේ රාජකාරි හේතු මත දින කිහිපයකට වඩා වෙන් නොවුණු ඔවුන් දෙදෙන වසර දෙකක දීර්ඝ වෙන්වීමක් උදෙසා කුමාරි ඕස්ට්‍රේලියාවටත් පියතිස්ස සිංගප්පූරුව බලාත් පිටව යන්නට යෙදිණි.පියතිස්ස වසර දෙකකින් ආපසු ලංකාවට ආවත් කුමාරි ගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරගන්නට සිදුවූයේ දියණියට තවත් දරුවෙකු ලැබීම හේතුවෙනි.
කුමාරි එන තුරු මහ ගෙදර තනිව ගෙවූ වසරක පමණ කාලය පියතිස්ස ට දැනුනේ කල්පයක් මෙනි.මොනවා හෝ උයාගෙන කා ගේ දොර අස්පස් කරගෙන වත්තේ ගහක් කොළක් හිටවගෙන ගෙවූ නිහඬ ජීවිතය ද සිංගප්පූරුවේ තට්ටු නිවාසෙක හිරවී ගෙවා දැමූ ජීවිතයට වඩා නම් බෙහෙවින්ම යහපත් බව පියතිස්ස පැවසුවේ කුමාරි ආපසු ආවිටය.කුමාරි ලංකාවට පැමිණ දෙදෙනා එක වහලක් යට එකට එක්ව ජීවිතයේ සැඳෑ සමය නිස්කාන්සුවේ ගෙවා දැමීමට හැඩ ගැසුනා පමණි පිලියන්දල ලොකු දුව ගේ මෙහෙකාර ප්‍රශ්ණය උග්‍ර විය.දන්නා අඳුනන අය මාර්ගයෙන් මෙන්ම ඒජන්සි මාර්ගයෙන්ද සොයාගන්නා මෙහෙකාරියන් මාස දෙක තුනකට වඩා ඈ වෙත නොරැඳෙන්නේ දුවගේ ඇති අති පිරිසිදු පිලිවෙත නිසා බව පියතිස්සට පහදා දුන්නේ කුමාරිය.
කොහේ සිටියත් දෙදෙනාම එක තැනක නොවේදැයි සිතූ පියතිස්සත් කුමාරිත් පිලියන්දල ලොකු දුව ගේ නිවසේ නැවතීමට ගියේ තුන් හැවිරිදි මිණිබිරිය බලාකියාගන්නා අපේක්ෂාවෙනි.මදක් ඉඩ පහසුකම් ඇති භූමියක පිහිටා තිබූ දෙමහල් නිවසේ කළයුතු වැඩ කටයුතු බොහෝ වූයෙන් පියතිස්සටද ගමෙන් ඈත් වීමේ කාන්සිය එතරම් නොදැනිණි.නිවස පිටුපසට වන්නට තිබූ හිස් බිම්කඩේ මෑ වැලක් තක්කාලි පෝච්චි කිහිපයක් වගේම ගෝවා හා මාළු මිරිස් පෝච්චි කිහිපයක්ද පියතිස්ස වවාගෙන තිබූ අතර උදේ සවස ඒවාට සාත්තු සප්පායම් කිරීමෙන් අසීමිත තෘප්තියක්ද ලැබීය.මිරිස් ගස් වල සුදු මල් පිපෙන විට ළපටි තක්කාලි රතට හැරවෙනවිට පියතිස්සට දැනුණේ තමන් පිළිබඳ ආඩම්බරයකි.
එවර ගැටළුව පැන නැංගේ කිරුළපනයේ පදිංචි පොඩි පුතා ගේ නිවසෙනි.ඒ රවිනි ගේ මව ගේ අසනීපයත් සමගිනි.පොඩි පුතු මිහිර ගේ කුඩ පිරිමි දරවන් දෙදෙන බලා කියගත්තේ පාසලට රැගෙන ගියේ නැන්දම්මා වන රවිනි ගේ මව විසිනි.නමුත් ඇයට හදිසියේ ඇතිවූ හර්දයාබාධයක් හේතුවෙන් පුතු ගේ පවුල පමනක් නොව පියතිස්සත් කුමාරිත් නැවත අසරණ විය.පුතු ගේ වචනය අහක දැමීමට නොහැකි තැන එහි ගොස් ටික දිනක් නැවතීමට පියතිස්ස කැමති වූයේ කුමාරි වෙතින් එල්ල වූ විරෝධයද මැදය.
ටික දිනක් යැයි කීවාද ගිය ජනවාරියට මෙහි විසීමට පැමිණ අවුරුද්දක් සපිරිණි.බාල මුණුබුරා ළදරු පාසලටත් අනෙක් මුණුබුරා පාසලටත් ඇරලවා නැවත ඔවුන් නිවසට රැගෙන ඒම පියතිස්සට පැවරුණු මූලිකම රාජකාරියයි. මුණුබුරන් දෙදෙනා තමන් හට දක්වන අසීමිත සෙනෙහසට පිටුපා ගමට යාමට පියතිස්ස ගේ හදවත ඉඩ නොදේ.දෙදෙනාම ගමට ගියහොත් දුව ගේ මෙන්ම පුතු ගේ පවුල් වලද අවුල් ජාලයක් මැවෙන අතර හයක් හතරක් නොදන්නා දරුවන් මෙහෙකාරියක අතට පත්කර යාමටද සිදුවේ.උභතෝකෝටික ප්‍රශ්ණයක පැටලී සිටින පියතිස්ස කුමාරි යුවල දෙපළක ගත කරන්නේද කනස්සල්ලෙන් පිරි දිවියකි.
ඇඳුම් මාරු නොකරම පුටුවේ ඇලවී සිටි පියතිස්ස නැවත ගෙතුලට එබී බැලුවේ වෙලාව හරිදැයි කියාය.දොළහට බාල මුණුබුරා ළදරු පාසලෙන් රැගෙන දොළහාමාර වන විට අනෙක් මුණුබුරා ගේ පාසල අසලට යා යුතුය.ඒ සඳහා ත්‍රී රෝද රථය එකොළහමාර වන විට ගේට්ටුව අසලට පැමිණේ.තවම වේලාව නවයහමාරය.
” උදේටයි දවල්ටයි දෙකටම හරියන්න බත්ම කනවා “
සිතූ පියතිස්ස අසුනෙන් නැගිට ගෙතුලට ගමන්කලේ ඉදිරිපස දොර වසාගෙනය.වෙනදා නවය වන විට කතාකරන කුමාරි අද තවම කතාකලේද නැත.
” අද බබා අඬලා කුමාරිව මොන්ටිසෝරියෙම නවත්ත ගත්තද දන්නෙත් නැහැ “
කෝකටත් පියතිස්ස හිතාගත්තේ කෑම කා ඉන් අනතුරුව කුමාරිට ඇමතුමක් ගන්නටය.
දුරකථනය නාද වන විට පියතිස්ස කෑම කා අත සෝදා ගත්තා පමණි.
” කුමාරි වෙන්න ඇති “
අඩිය ඉක්මන්කර දුරකථනය වෙත ගියද කතා කලේ කුමාරි නොව මිහිරය.කෙදිනකවත් මේ වේලාවට කතා නොකරන පුතු අවේලාවේ කතාකිරීම පිළිබඳව පියතිස්සට ඇතිවූයේ කුතුහලයකි.
” ඇයි පුතේ හදිස්සියක් ද “
” තාත්තේ පොඩි ප්‍රශ්නයක් වෙලා
අම්මා හොස්ටල් එකේ “
” මොනවා වෙලාද “
” පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා “
පියතිස්සට දැනුණේ තමන් පය ගසාගෙන සිටින පොළව ඇඹරී නාය යන සෙයකි.වැටෙන්නට ගිය සිරුර වාරු කරගෙන අසල පුටුවකට බරවූ පියතිස්ස කිසිවක් පවසාගත නොහැකිව මොහොතකට ගොළු විය.
” තාත්තේ
තාත්තේ “
යනුවෙන් මිහිර ගේ බියපත් හඬ රිසිවරය ඔස්සේ ගලා විත් පියතිස්ස නැවතත් පියවි සිහියට ගෙන ඒමට සමත් විය.
” තාත්තා කලබල වෙන්න එපා තව පැය බාගයකින් මම බබාල දෙන්නත් රගෙනම ගෙදරට එනවා.තාත්තා ලෑස්ති වෙලා ඉන්න.හොස්පිට්ල් එකට යන්න.
මිහිර එන විටත් පියතිස්ස නිවසේ දොරවල් වසා ගේට්ටුවද වසාගෙන පාරට පැමිණ පාර දිගේ මදක් ඉදිරියටද ගමන් කර අවසානය.
” උදේ බබාව නර්සරි එකට දාලා අම්මා පාර පැනලා තියෙනවා ත්‍රී වීලර් එකක් ගන්න.එතකොට වේගෙන් ආපු මෝටර් සයිකලයක් සුදු ඉරේදී අම්මව හප්පගෙන ගිහින්
එතන හිටපු මිනිස්සු එකතුවෙලා අම්මව හොස්ටල් ඇඩ්මිට් කරලා
ඒ තරම් අමාරුවක් නැහැ
ඇඟේ සීරීම් තුවාල විතරයි
ඒත් අක්කා අම්මව බලෙන් ටිකට් කප්පවාගෙන ප්‍රයිවට් හොස්පිට්ල්ස් එකකට ඇඩ්මිට් කළා
ඔක්කොම පරීක්ෂණ ටික කරගන්නයි අක්ක ගේ අදහස
කියන්න බැහැ නේ ඔළුව එහෙම හැප්පිලද කියලා “
මිහිර කතා කරන්නේ ඉදිරය බලාගෙනය.ඔහුටද පියතිස්ස ගේ කඩා වැටුණු මුහුණ දෙස බැලීමට හිත හදාගන්න බැරි සෙයකි.තමන් මොනවා කිව්වත් අම්මා දෑසින් නොදැක තාත්තා හිත හදාගන්නේ නැති බව මිහිර දනී.
රෝහලට පැමිණීමට ගතවූ අඩ පැයක පමණ කාලය තම දිවියේ ගෙවූ දිගම විනාඩි කිහිපය බව පියතිස්සට හැඟිණි.රෝහල් කොරිඩෝවේ සුවිසල් කුළුණු පියතිස්සට පෙනුණේ බොඳව ගිය අයුරිනි.තට්ටු ගණනාවක් ඉහලට ඇදී ගිය විදුලි සෝපානයෙන් බැසගත් ඔවුන් කාමර කිහිපයක් පසුකර ගොස් නැවතුනේ කුමාරි ගේ නම සඳහන් කාමරය අභියසය.
කාමරය තුළට යාමට දිරි එලවාගත නොහැකි වූ පියතිස්ස ඒ සඳහා පුතුට ඉඩ දී පසෙකට විය.එල්ලයක් නැතිව ගමන් කළ පියතිස්ස ගේ බැල්ම නැවතුනේ කරකැවෙන විදුලි පංකාව වෙතය.සුදු ඇඳ ඇතිරිලි හා කොට්ට මෙට්ට අතරින් කුමාරි ගේ කුඩා සිරුරත් අමාරුවෙන් මුවට නගා ගත් සිනහවත් දුටුවේ අනතුරුවය.තැනින් තැන ප්ලාස්ටර් අලවා තිබූ කුමාරි ගේ අත පය වලට අමතරව නළලේ වම්පසට වන්නටද ප්ලාස්ටරයක් අලවා තිබිණි.දරුවන් බලාසිටින්නේ යැයි යන චකිතයද අමතක කර පියතිස්ස කුමාරි වෙතට නැවී දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තේ ගැහෙන හවතින්ය.
” දැන් කොහොමද “
” ඒ තරම් අමාරුවක් නැහැ මහත්තයා “
කුමාරී පැවසූවේ බෙහෙත් මතින් නිදිබරවූ දෙනෙත් ආයාසයෙන් විවර කර ගනිමින්ය.
රාත්‍රියට කුමාරි ළඟ නැවතීමට දියණියත් රුවිනීත් දෙදෙනාම ඉදිරිපත් වූවත් පියතිස්ස එකහෙලාම කියා සිටියේ තමන් කුමාරි ළඟ නවතින බවය.
ඇඳ අසල පුටුවක ඇලවී හුන් පියතිස්සට මදක් නින්දයාගෙන එද්දීම ඇසුනේ කුමාරී තමන් අමතන හඬය.
” මහත්තයා
මට මෙහෙ ඉන්න බැහැ
අපි ගෙදර යමු “
” ඔව්
අපි යමු
සනීප වුණු ගමන්ම යමු”
” අපි අපේ ගෙදර යමු “
පියතිස්ස පැවසුවේ කුමාරි ගේ හිස සෙමෙන් අතගාමිනි.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)