ගොරෝසු මෙබිම රළු දුක් අතර
ඔබ ගැනම පමණයි
සිනිඳු කවියක් ලිවිය හැක්කේ
මුඩු බිම නියං සායේ
ගිනි ඉර පරද්දා
ළා වැසි ඉස්මක් සිප
පැලි වැව මඩ දියත්තක නැගි
සිඟිති ඕලූ කැකුළයි
ඔබ දුන් ආදරේ
වැඩ බිම දෝෂ බසැ’නී
මග තොට ගැටී පෑගී
කැලෑ මධුයෙන් – ධූම කුඩයෙන්
තෙමී වේලී තැලී ගන වූ
ම’සිත පොඟවා මොළොක් කළ ඒ
එකම මහිමය ඔබ සිනාවයි
ඒ නමුත් සොඳුරියේ දැනි’තින්
සිනිඳු බව ගැන පසිඳු නිදසුන්
ඕලූ පෙත්තක සිනා මොළොකෙක
සෙවිය නොහැකිය තවත් මට නම්
ඔබේ මුදු දෑතැ’ඟිලි අතරේ
ළ’රත් දෙතොලේ සුමුදු පතුලේ
කෙහෙරැලේ ඇසිපියේ පමණයි
සිනිඳු බව අද මා දකින්නේ
(‘යටිවියන’ කාව්‍ය සංග‍්‍රහය – 2007 )
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)