මේ දුර්ග මග
සෙමෙන් බැස යමි
ගිලන් හල තුල
ක්ෂාර ජලයෙන්
තෙමා දෙතොලග
එදා අඳ වූ
දෑස් නොඅරිමි
දකිනු රිසි නැති
එදා නොදුටුව
අතීතය ඇස ගැටෙයි
සැනෙකින
පෙර දිනක
ඔබ සිරුර
ප්‍රේමයෙන් වැළඳගත්
දෑතම නොසෙල්වමි
ඔබ නොදුන්
රුධිරය ගලයි
ඉදිකඩු තුඩින්
මදින් මද මා තුලට
සුදු නෙළුම ගිලිහුණු
ඇත් පැටෙකි
මුහුණුවර සොරාගත්
නැබෙන් ඇතුළුව
කුස තුලෙහි
තුවාලව මියගිය
මිලට ගත් වසන්තය
හැඳි ධවල පිරුවටය
රත් මලින් සරසවා
හිස ගැසූ
රාත්‍රිය අමතකය
පිය රජුන් සමරන
මධුපානෝත්සවය
සුරපුරෙක සිරි ගනී
උයන්දොර කෙළවර
මහ ජයට
මිණිමෙවුල උනා දැමු
දිවි රහස් නොසැඟවූ
හසඟනකි මම
ගිලන්හල
සයනය මත
දිවි දුර්ග මග
සෙමෙන් බැස යන
සුදු ඇත් පැටෙකු
අහිමි කල දුකට නොව
මග හැරිය පියරජුන්
සියළු දේ
වසන් කළ දුකට
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)