මාස ගණනක් වයසැති
නිහඬතාවය කපාගෙන
පියාඹා එන ඔබේ වදනක්
දුරකථන මුහුණතක පතිතව
සීරුවෙන්
මගේ ඇස්
මුණගැසෙයි.
කොහොම දන්වන්නද ඔබට
ජීවිතේ හිස්තැන් තුළ
අතීතය තවමත්
පුරුදු සේ රළ නගන වග…?
උකටලී හදවතක් පතුළ’ත
අන්තිම පියගැටය පාමුල
බොහෝ කලකට පසුවත්
යළි දළු දමන්නට පුළුවන්
හිතක් ඉතිරිව ඇති වග…?
සීතලෙන් හිරිවැටුණු දෑතක්
සිරට බැඳගත් විට පපුවට
සීතලම කුටියක වුව
උණුසුමක්
උපද්දන්නට හැකි වග…?
කවියකින් ගිලිහුණු අකුරක්
පණිවිඩයකට
අමුණනු නොහැකි මොහොතක
ජීවිතය
ඔබ සිතනවට වැඩියෙන්
බොහෝ දිගු වග…?
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)