එක බඹරිඳු හට පෙම් කළ පියුමන් විමු ඒ සුන්දර බාල වියේ
දුක නොසිතුණි මට දිනු විට ඔහු හද සූබ පැතුවෙමි පතුළින්ම ළයේ
දැක ලද දියුණුව සැමටම වැඩියෙන් තුටු වූ හැටි මතකයෙහි තියේ
රැක ගනු බැරිවිය සුපිපුණු දිවි මල අප අතහැර ඔබ ඇයිද ගියේ
තනිවූ බඹරිඳු තනිය මකන්නට ආ අය සැමදා නෑ උන්නේ
බොඳවූ දෙනුවන් අතරින් දුටුවෙමි ඔහු සිත අප පමණයි දන්නේ
ගල්වූ හද තුළ සිර කළ පැතුමන් දොරඟුළු බිඳදා පිට එන්නේ
පරවූ පියුමෙහි ඉතිරිවූ රොන්බිඳ ආලයෙ නාමෙන් මතු වන්නේ
මගෙ මුළු දිවියම ඔහු වෙනුවෙනි අද සියලුම යුතුකම් ඉටු වන්නේ
කොහෙහෝ සිට ඔබ බලා සිටීනම් හොඳටම තුටු වන බව දන්නේ
මතු භවයෙහිදී මෙවන් ලෙසට හැර නොයනා ලෙසටයි පව සන්නේ
දෙදෙනා එකටම සැමදා ඉනුමැන පසෙකට වී මා ඉඩ දෙන්නේ
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)