වරාය ඉදිරියෙන් තිබූ අවන්හල් ෙප්ළිය මුළුමනින් ම අපිළිවෙළින් යුතුය. එයින් බොහොමයක් ලෑලි ගසා බෙලෙක් තහඩු හෙවිල්ලා තිබුණි. ඒ අතර දැඩි හිරු රැසින් යුතු දූවිලි සුළඟින් අහසට නගී. එය ඔරොත්තු නොදෙන තරම්ය. අහර පිසින තෙල් කර වූ ගද දුම්කොළ දුමත් වොඩ්කා සැරත් සමඟ එක්වී අවන්හල් අතර පා වෙමින් තිබුණි.
දිවා ආහාරයට කම්කරුවන් එන්නේ රොතුපිටින්ය. ඔවුන් දහදියෙන් යුතුය. වෙහෙස නිසා ඔවුන් සිටියේ නොරුස්සන සුලු බවින්ය. හීන් වොඩ්කා අඩියක් සමඟ අර්තාපල් සහ පාන් බුදින ඔවුන් කළ සහ කළ යුතු හැම බර කටයුත්තක් ම අමතක කර දමයි. ඔවුන් ගේ කටහඬවල් ප්‍රීතිමත් අවලාදයන්ගෙන් සහ පිළිසඳරෙන් යුතු වේ.
“වොඩ්කා සැර මේ පාහරයො බාල කරනව.”
“අසමජ්ජාති හැත්ත. ඕකුන් මක බෑ වෙන්න ඕනැ.”
“ඊට හපන් දුංකොළ. පෙණහළුවලට වගේ වගක් නෑ.”
නම් දරාපු බේබද්දෙකු සහ තක්කඩියෙකු සේ ප්‍රකට චෙල්කාෆ් ඔවුන් අතරට පැමිණියේය.
“ආයුබෝවන් මිත්‍රවරුණි. සාර් උතුමාණන්ට ආශිර්වාද වේවා!”
“අම්මට හුඩු චෙල්කාෆ්. කොහේද පහුගිය දොහේ වාෂ්ප වෙලා හිටියෙ?”
හැම කම්කරුවෙකු ම චෙල්කාෆ් හඳුනයි. යහමින් මුදල් ඇති විට ඔහු තම මිතුරන්ට ඉස්මුරුත්තාවට කන්න බොන්න දෙයි.
“ගුදමෙන් රෙදි පීස් දෙකක් පන්නලයි කියන්නෙ.” එක් සගයෙකු චෙල්කාෆ්ට ළංවී කියයි.
“ඉතින් මට කියන්නෙ?” චෙල්කාෆ් කියන්නේ පිරිසිදු චරිතවත් කෙනෙකු සේ උස් හඬින්ය.
“ඒකට කමක් නෑ. ඇතුළට යන්න එපා. සිකුරටි ඇහැ ගහගෙන ඉන්නෙ ඔහේ එනකං.”
“මිෂ්කා දැක්කෙ නැද්ද?” පැමිණිලි චෝදනා පිළිබඳව කිසිදු හැඟීමක් චෙල්කාෆ් තුළ නැත.
“මොන?”
“පච්ච මිෂ්කා”
මිෂ්කා හදිසි අනතුරකට මුහුණ දී රෝහලේ ය. චෙල්කාෆ් ගේ බලාපොරොත්තු බිඳී ගියේය. අද රාත්‍රියේ මිෂ්කා අවශ්‍යමය. ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව හිතන්නවත් බැරිය.
කම්කරුවන් යළි වැඩමුරයට පිටත්ව ගිය පසු අවන්හල් අතර නිහඬ හිස් බවක් පැතිර ගියේය. හුදකලාව අතීරණාත්මකව සිටි චෙල්කාෆ් දුටුවේ තමා ඉදිරිපස බංකුවේ කුඩා ඔළොගුවක් උකුලේ තබා ගෙන හිස් බැල්මෙන් යුතුව සිටි ගැටවරයෙකි. අවුල් වූ හිස කෙසින් යුතු ඔහුගේ කාංසියෙන් යුතු දෑසේ යෞවනය උතුරයි. නිසැකවම ගමෙන් පැමිණි ගැටවරයා ගේ පිබිදුණු යෞවනය පිළිබඳව ඉරිසියාවක් උපන්නත් චෙල්කාෆ් තුළ අලුත් බලාපොරොත්තු ඇති විය.
“මොකද ඉලංදාරියා කල්පනවා. හරි හමං වැඩක් හම්බ උණේ නැද්ද?” ගැටවරයාගේ බංකුවේ වාඩි වෙමින් චෙල්කාෆ් ඇසුවේය.
“නෑ.” ගැටවරයා කීවේය. රූබල් පන්සියයක් හොයාගෙන ආවෙ. දවස් හතරකට හම්බුකළේ රූබල් දෙකයි.”
“දවල්ට කෑවෙ නෑ නේද?” චෙල්කාෆ් ඇසුවේය.
ගැටවරයා අවහන්හලකට කැඳවාගෙන ගිය චෙල්කාෆ් දවසින් බේරන ණය පොතට ඌරුමස්, පාන් සමඟ වොඩ්කා ඇණවුම් කළේය. චෙල්කාෆ් ගේ ඉල්ලීම පරිදි ගැටවරයා ජීවිතයේ ප්‍රථම වරට මත්පැන් පානය කළේය.
“මොකක්ද නම?”
“ගව්රීල”
“රූබල් පන්සියයක් අහවල් දේකටද?”
ගව්රීල ගේ සිනහව ප්‍රසන්න විය. ඔහු ගේ දෑස් ආදරයෙන් පිරී ගියේ ය. ඔහුට අවශ්‍ය තම හුරුබුහුටි නෑනා විවාහ කර ගැනීමට ය. කුඩා ගොවිපළක්, ගෙයක් සහ යාන්තමට හෝ යා හැකි අශ්වයකුත් එයට අවශ්‍යය යි මාමණ්ඩිය කීවේ ඒ විදිහටයි. එයට රූබල් පන්සියයක් අවශ්‍ය ය.
“වරෙන් අද රෑ මාත් එක්ක මාළු බාන්න. උඹට තියෙන්නෙ හබල් ගාන්න විතරයි. මං රූබල් පන්සියයක් දෙන්නම්.”
ගව්රීල තවත් වොඩ්කා වීදුරුවක් බීවේය. ඉන්පසු චෙල්කාෆ් රාත්‍රියේ කූද්දන තෙක්ම ඔහු පාළු කඩ කාමරයකට වී හොඳ හැටියට නිදා ගත්තේය.
“මෙලෝ වගතුවක් නැති පාන් කඩයක්නෙ මං අල්ලගත්තෙ. උඹට හබල් ගාන්න පුළුවන්ද?”
ගව්රීල ගියේ වැනෙමින්ය. එහෙත් චෙල්කාෆ් තෝරාගෙන තිබූ ඔරුව ඔහු මැනවින් හබලා ගාගෙන ගියේය.
“ඔය නැව් අස්සෙන් හෙමිහිට යමං.”
මැදියමට ආසන්නයේ අහසේ තරු විසිරිලාය. අඳුරේ බොහෝ තැන් නිශ්ශබ්දයි. වෙරළේ මුර භටයෝ කිරා වැටෙමින් තම සේවයේ යෙදුණහ. චෙල්කාෆ්ගේ අණ පරිදි ඔවුනට නොහැගෙන්න ඔරුව පා වී ගියේය.
“අයියෙ කෝ මාළු අල්ලන්නෙ නැද්ද?” ඔරු තට්ටුවේ බර කල්පනාවකින් සිටි චෙල්කාෆ්ගෙන් ගව්රීල ඇසුවේය.
“කටවහගෙන හෙමිහිට යමං. වැඩිය කියවන්න ආවොත් හබලෙන් ගහල මුහුදට දානව පරය.”
ගව්රීල වෙවුලා ගියේය. මේ මාළු බෑමක් නොවේ. මේ චෙල්කාෆ් ගේ මොනවා හෝ අළුගුත්තේරු වැඩකි.
ඔරුව මහ නැවක් සමීපයේ නැවැත්වීය. චෙල්කාෆ් එහි පිටතට තිබූ ලණු ඉනි මග දිගේ සතෙකුසේ බඩ ගාගෙන ගියේය. ඔහු අතුරුදහං විය. මිනිත්තු දහයකින් ඔහු ගව්රීලට කතා කෙළ්ය.
“එයාට වෙයං”
චෙල්කාෆ් ඔරුවට රෙදි පීස් දහයක් බා ලණුව දිගේම රූටා විත් ඔරුවට ගොඩ විය.
“දැන් ආපු මග දිගේම හෙමිහිට පැදපං. පොලිස් මුරපොළ ගාවදි පා වෙන්න ඇරපං. නැත්නම් උඹට නෑනව බැඳගන්න වෙන්නෙ අවුරුදු පනහ පැනල. එතකං හිරේ විලංගුවෙ තමයි.”
ගව්රීලට සිහිපත් වූයේ තම නෑනාය. ඇය හුරුබුහුටිය. පුංචි කිරිල්ලියක් වැනිය. ගව්රීල ගමෙන් පිට වෙන දා ඇගේ ඇස්වල පුරාවාගෙන සිටියේ ප්‍රාර්ථනාත්මක කඳුළුය.
ගව්රීල සියලු වගකීම් දරාගෙන ඉතා මැනවින් ඔරුව පැදවූයේය. ඔවුන් නිරුපද්‍රිත විය. ඔරුව පිටත් වූ තැනටම නවත්වන විට චෙල්කාෆ් ගේ දුෂ්ට නපුරුගති හැම දෙයක්ම අතුරුදහං විය.
“හරි ගව්රීල මල්ලියෙ. උඹ දක්ෂයි. මං එන කං උඹ ඔය වැල්ලෙ උදේ වෙනකං නිදාගනිං.”
චෙල්කාෆ් ඔරුව සමඟ යළිත් නොපෙනී ගියේය. ගව්රීල වැල්ලේ වකුටු වී හොඳහැටියට නිදා ගත්තේය.
චෙල්කාෆ් කූද්දන තෙක්ම ගව්රීලගේ නින්ද සුවපත් විය. චෙල්කාෆ් සිටියේ මහත් උද්‍යෝගයෙනි.
“මල්ලි උඹ හරි වාසනාවන්තයි. ඉදා උඹේ රූබල් පන්සීය. දැන් ගමට ගෙහුං කසාද බැඳගනිං.”
“කීයක් විතර හම්බ උණාද අයියෙ?”
“වැඩිය නෑ. රූබල් හාර දහස් පන්සියයයි.”
ගව්රීල තිගැස්සුණේය. මේ මුදලින් ගමේ කොයිතරම් නම් දේවල් කළ හැකිද? ලොකු ඉඩමක්. ඌරන් කුකුළන් එළුවන් සහිත ගොවිපළක්, අශ්ව කරත්තයක්.
“උඹේ ඇස් දෙක අමුතුයි.” චෙල්කාෆ් කීවේය.
“අනේ අයියෙ. ඔය සල්ලි ටික මට තියෙනව නං දූ දරුවො හදාගෙන මැරෙන කං සැපට ඉන්න පුළුවන්.”
“එතකොට මං?” සුන්දර ගැමි පවුලක් සිතේ ඇඳී ගිය චෙල්කාෆ් කෝපයෙන් ඇසුවේය.
“අයිය එක රැයින් මේ සල්ලි ටිකෙන් බීල නාස්ති කරාවි. ඇරත් අයියට මේ වගේ සල්ලියක් හම්බුකරන එක මහ කජ්ජක් යැ.”
එය ක්ෂණිකව විකල්පයන් දෙකක් අතර උපන් අසමතුලිත බවක් විය. ඉරිසියාවත් පැහැරගැනීමක් හා රැක ගැනීමට ඕනෑකමක් එය වඩාත් ආවේගශීලී ප්‍රචණ්ඩ බවක් කරා එක් වෙමින් තිබුණි. ඒ සමඟම දෙදෙනාම අසමතුලිතව පොර බදන්නට වූහ. බිම වැටුණු ගව්රීල ගේ ඇඟමත සිටි චෙල්කාෆ් පෙරළා දැමූ ගම්බද ගැටවරයා ඒ සමීපයේ තිබූ ගලක්ගෙන වෙර යොදා පාඩදඩයාට ගැසුවේය.
ගව්රීල කලබලයට පත් විය. ගමේදී උපන් මෙතෙක් රැකගත් අහිංසක බව එහි තිබුණි. ගව්රීල ගේ සිත තැති ගැනුණි. මුහුදින් දිය දෝතක් ගෙන ආ ඔහු චෙල්කාෆ් ළඟ දණ ගසා එය ලේ ගලන තුවාලයට දැමීය. චෙල්කාෆ් ඇසපිය සලන විට ගව්රීල බැගෑපත් විය.
“අනේ අයියෙ මට සමාවෙන්න. මං මහ පොළොව නුහුලන අපරාධයක් කළේ. අයිය ඊයෙ මට වොඩ්කා වීදුරු දෙකකුත් අරං දුන්න. අනේ මට කීයක්වත් එපා අයියෙ මං යන්නම්.”
චෙල්කාෆ් වාඩි විය. ගව්රීල පිටුපා යමින් සිටියේය. චෙල්කාෆ් කෑ ගැසීය.
“කොහේද යන්නෙ? මෙහෙට වරෙං බැල්ලිගෙ පුතෝ.”
ගව්රීල බිය පත්ව චෙල්කාෆ් සමීපයට පැමිණියේය.
“මට සමාවෙන්න අයියෙ. ශාන්ත ජෝන් ගේ නාමයෙන් මට සමාව දෙන්න අයියෙ.”
“කටවහපං අළුගුත්තේරු බලුපැටිය. උඹේ ගමේ ගෙහුං මදන දිට්ටිය ඉහට ගහල ළමයි කී දෙනෙක් හදා ගන්නවද?”
චෙල්කාෆ් කලිසම් සාක්කුවේ ඔබා තිබූ සල්ලි මිටිය අතට ගෙන එයින් නෝට්ටු කීපයක් උඩ සාක්කුවට දමා ඉතිරි ටික ගව්රීලට දිගු කළේය.
“ඉඳා ගනිං.”
“අනේ එහෙම හරි නෑනෙ අයියෙ.”
“ගත්තෙ නැත්තං මං උඹේ ඔළුව කුඩු කරනව. සල්ලි ටික අරං පස්ස නොබල ගමට පලයං. ගෙහුං නෑනා සහේට අරං ඇති පදං ළමයි හදපං.”
ඔවුහු දෙපැත්තකට වෙන් වී ගියහ. ගව්රීල මුදල් තැන්පත් කළ ඔළොකුව තම පපුවට තුරුළු කර ගෙන ගමන් කළේය.
උදෑසන හිරු එළිය පැහැබර විය. මුහුදේ එහා කොළ පැහැයත් නිල් පැහැයත් පැතිරිලාය. රළ සුපුරුදු ලෙස වෙරළට ඇදී ආවේය. මිනිසුන් දෙදෙනෙකු අතර උපන් අරගලයක මතකයක්වත් ඉතුරු නොකර දිගු රළ වෙරළට පැමිණ ආපසු ගියේය.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)