පෙම්වත,
එතරම්ම මුරණ්ඩුද
මයෙ ස්වර ව්‍යංජන
ඉස්පිලි, පාපිලි, ඇලපිලි
ඉස්සි ඉස්සී, ගැස්සි ගැස්සී
මෙතරම්ම වධ දෙනවද
ඔබට……………
මිහිරි මී පැණි ගල්වන
ඉසියුම් කවිකාරකම් පවා
නොඉවසුම් අමනාපෙන්
විස දළ පහරක්ව
හදවත පසා කරලන්නට තරම්….
කියන්නත් තහනම්
ලියන්නත් තහනම්
අඬන්නත් තහනම්
දොඩන්නත් තහනම්….
තියුණු ය.. මුවහත් ය…
වදනසිපත ඔබ ලෙළවන
පතිත වනු පෙරම ළය මත
සැලී සසැලී ඉරිතැලී
ආත්මය දෙදරවන..
අසනි වැස්සක්ව
සන්තානය කඩා හැලෙන….
පෙම්වත,
ඉදින් නික්මෙමි
සපථ කළ හදින්
හැරී බලනෙමි වරක්
ස්වර්ගීය කවියකි ඔය දෑස
සිහිලැල්ම ස්නේහයෙන්
ඉරිතැලුණු ආත්මය සනහන….
නවතිමි… හැරෙමි..
කඳුළකම දිය වෙමි
සුසුමකට ඇහැරෙමි
ප්‍රේමයෙහි පවතිමි……..
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)