මාර ගහට පමණද පපුවක් තිබුණේ
උයා පිහාගෙන බත සරි කරන විඩේ
දූන් පුතුන් විලසයි නුඹලා දැනුනේ
තැවූ කෙසෙල් කොළයේ බත් ඔතාගෙන
අතට මිරිස් පපඩම් ටික නෙලාගෙන
ණයට ලියන පොත හැට්ටයේ ගසාගෙන
අම්මා නොවුන අම්මා එයි සිනා ගෙන
ඈත ගම් දොරින් මෙහි ආ පැටවුනේ
රෑට බතට කොයි කොතැනක ලගින්නේ
බෝඩිම නැද්ද එක කඳුලක් හෙලන්නේ
මහපොල දෙන තුරා බඩගිනි නො එන්නේ
කම්බි වැටෙන් අපි වෙන් කරනවා තමයි
මොනවා වුනත් අපි එක පන්තියේ තමයි
අපිට අපේ ජීවිත දැනෙනවා තමයි
බත කටකට මේ හැටි කඹුරනව තමයි
රතුපාටට කොඩි කණු නැගිටිනව දුටිම්
කලු පාටින් කොඩි වැල් ඇදෙනවා දුටිම්
යදඬු වගේ අත් මිට මෙලවෙනවා දුටිම්
දුර්වල සිතට සතුටක් දැනෙනවා දුටිම්
හැමදාමත් සිහිනය ඒ විලසින්ය
වෙනස් වුනේ පොඩි දේවල් විතරක්ය
මෙහෙන් ගියේ සටනට බට විරුවන්ය
උනුත් දැන් ඉතින් කීකරු දරුවන්ය
තාමත් සිතමි. මතු දවසක් ගැන පෙමිනී
තරහක් නොගෙන බත් ටික දහවල ගෙනෙමී
අතමිට ගෙනෙන කාසිය කඳුලක් ගිහිණී
හසරක් නොදැන නුඹලාගෙන් මග අසමී.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)