අද ද ඔබ ඉඳහිට හමු වෙයි
ඉපැරණි දිනපොතක
කාලය විසින් කටු ගෑ
කෙටි සටහනක් ලෙස.
අමදිනු අමතකව
අත හැර දමා ගිය
ගෙමිදුලක් ලෙස,
සෘතු සංහාර
සම සිතින් ඉවසන.
බොහෝ පා යුග ගැවසෙන
පියගැටපෙළක් පාමුල
සිය කැමැත්තෙන් නැවතුණු
පිය සටහනක් ලෙස.
ලියා නොලියා
ඉතිරි කොට යන වදනක
අවසානයට එක් වූ
හිස් තැනක
හිස් ඉඩක් විලසට.
අද ද ඔබ ඉඳහිට හමුවෙයි
නොහිතන තැනක
තවෙකෙකුට හිමි කවියක.
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)